Tuesday, May 6, 2025
Home » දෙව් මිනිසුන් යා කළ උපතේ මංගල්‍යය

දෙව් මිනිසුන් යා කළ උපතේ මංගල්‍යය

by mahesh
December 25, 2024 1:02 am 0 comment

චාමිකා මුණසිංහ

‘නත්තල’ යන වචනය කන වැකුණු මොහොතේ පටන් ගතට සිතට අමුතුම හැඟීමක් දැනෙන්නට අප කිතුනුවකු වන්නටම අවශ්‍ය වන්නේ නැත. නත්තල යනුවෙන් හඳුන්වන්නේ සරලවම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපතේ මංගල්‍යය සැමරීමයි. දෙසැම්බර් මස 25 වැනිදාට යෙදෙන මේ සුන්දර දිනය ලෝ වැසි සෑම කිතුනුවකුම පමණක් නොව, ඇතැම් විට අන්‍ය ලබ්ධිකයන් ද ඉතාම සතුටින් සමරන ආකාරය දැකගත හැකිය. නත්තලට ස්වාභාවික පරිසරය ද සූදානම් වන්නේ එතරම්ම සොම්නසකිනි. මංමාවත් නානාවිධ විදුලි පහන් ආලෝකයෙන් කාන්තිමත් වෙද්දී, ලෝකයේ එක් පැත්තක් හිමෙන් වැසී යද්දී, තවත් පැත්තක ජනතාව සීතලෙන් ඇලළී යද්දී සීත උඳුවප් මහේ උපන් ජේසු බිලිඳාගේ උපත 2024 වසරේ අප සමරන්නේ සියලු ප්‍රශ්න අමතක කර දමමින්ය. ලෝ වැසි ජනතාව අමන්දානන්දයෙන් සමරන මේ විස්මිත උපත ගැන මීගමුව සාන්ත මරියා දේවස්ථානයේ මීසම් සේවක පියතුමන් මෙන්ම, මීගමුව දිසාව භාර ප්‍රධාන පියතුමන් ලෙසින් කටයුතු කරන ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමන් සමඟින් කළ සාකච්ඡාවකි මේ.

පාපයෙන් මුදා ගැනීම

නත්තල යනුවෙන් හඳුන්වන්නේ ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මෙලොව ආගමනයයි. දේවත්වය පසෙකලා උන්වහන්සේ මනුෂ්‍යත්වය වැලඳ ගැනීමෙන් පසුව සාමාන්‍ය මනුෂ්‍යයකු වශයෙන් මෙලොවට පැමිණෙමින් මනුෂ්‍යයාව පාපයෙන් මුදා ගැනීම උදෙසා ඒ ගැලවීමේ කාර්යයේ නිරත වන්නට වූහ. අවුල් වුණු ලෝකයේ වියවුල් වුණු සමාජයන් අතර, විරසක වෙමින් පාපයේ බැඳුණු මිනිසා ඉන් මුදාලමින් උන්වහන්සේගේ මෙලොව ආගමනයත් සමඟින් දෙවියාව හා මනුෂ්‍යයාව එකට යා කිරීමක් සිදු වූ බව කිතුනුවන් අතර විශ්වාසයක් පවතී. එම බද්ධවීමත් සමඟින් ජනිත වූ සාමයේ කතන්දරය මුළු ලෝකය පුරා රැව්පිළිරැව් දීම සෑම වසරකම මේ උපතේ මංගල්‍යය සමඟ සැමරීමත් සමඟ සිහිපත් කෙරේ. උපතක් යනු සතුටක් දනවන කාර්යයකි. නත්තල ද හැඳින්වෙන්නේ උපතේ මංගල්‍යය ලෙසයි. ජීවිතවලට සතුට හා නවෝදය ළඟා කර දෙමින් ලැබෙන ආධ්‍යාත්මික සුවය විඳීමට නත්තල් දා සෑම කෙ‍නෙක්ම සූදානම් වන බව දැකගත හැකි වේ. මේ වන විට නත්තල ජාතික උත්සවයක් ලෙසින් හඳුන්වන්නේ ද ඒ සුවය සෑම ලබ්ධිකයකුටම ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙනය. කතෝලිකයන් ආධ්‍යාත්මික වශයෙන් නත්තල ජීවමාන කරමින් අත්විඳින්නට සූදානම් වීම මේ නත්තල් දවසේ සිදු වන සුවිශේෂීම කාරණාවකි. අන්‍ය ලබ්ධිකයන්ට ද ජීවිතයේ සතුට දනවන කාර්යයන් කෙරෙහි පවුලක් වශයෙන් ඒකරාශී වෙමින් නිරතවීමට සෑම නත්තලකදීම ආදර්ශවත් අවස්ථාවක් උදා වේ. ජීවිතයේ පැවැත්මට දැක්මට අවශ්‍ය කෙරෙන සංවේදීභාවය වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාව කෙරෙන් බොහෝ දුරට ඈත් වී තිබේ. දරුවන් සංවේදීභාවයෙන් ඈත් වී හුදෙකලාව, නිහැඬියාවට ආදරය කරන්නට පටන් ගෙන තිබීම සමාජයක් වශයෙන් මහත් වූ ඛේදවාචකයකි. ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ මෙලොව ආගමනයත් සමඟින් දායාද කළ පණිවිඩය සාමයේ පණිවිඩයයි. ඒ පණිවිඩය නත්තල් දිනයේදී මුළුමහත් ලෝකවාසීන් අතර බෙදාහැරීමෙන් අපේක්ෂා කරන්නේ සංවේදී, ඒකමුතු සමාජයක් ගොඩනැඟීමයි. ජීවිතවල සතුට, සැනසීම ඔබ වෙතින් ඈත් වී ඇත්නම් ඒවා යළි ජීවිත තුළට උදා කර ගැනීමට මේ නත්තලේ උප්පත්ති මංගල්‍යයත් සමඟින් මෙවර නත්තල් දවසේදී ද ක්‍රිස්තූන් වහන්සේ තවත් අවස්ථාවක් උදා කර දී තිබේ.

සාමයේ පණිවිඩය

වෙනදාට වැඩි බැඳීමක්, සංහිඳියාවක්, සහජීවනයක් වර්තමාන සමාජයට අවශ්‍ය වී තිබේ. දේශයක උන්නතියට, වර්ධනයකට ඒ බැඳීම අත්‍යවශ්‍ය කාරණයකි. දෙවියන් වහන්සේගේ මෙලොව පැමිණීම තුළින් හිමි කර දී තිබෙන්නේ ඉතා විශේෂ ජීවමාන පණිවිඩයකි. සැබෑ මනුෂ්‍යයකු බවට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව දෙවියන් වහන්සේගේ මෙලොව පැමිණීම සමරන නත්තල් දවසේ මොනවට පසක් කර දෙයි. දෙවියන් වහන්සේගේ මෙලොව පැමිණීම හා සමානවම අවුරුදු 2024ක් තිස්සේ සමරන නත්තලේ මංගල්‍යය මෙන්ම නත්තලේ පණිවිඩය ද ජීවමාන වේ. ලෝකයේ විරසකවීම් නැති කර ලෝකයේ බැඳීම් එකතු කරන්නට මේ උදා වූ නත්තල අවස්ථාවක් කර ගත යුතුය. මේ උදා වූ කාලය ‘නත්තලේ කාලය’ ලෙසින් නම් කරනවා නම් ඒ සාමයේ පණිවිඩය මුළු ලෝකය පුරා ව්‍යාප්ත කිරීම අපහසු කාරණයක් වන්නේ නැත.

මේ දහම් පණිවිඩයෙන් විහිදී යන්නා වූ ඇතුළාන්ත ආනිශංසය ජීවිතයෙන්ම අත්දකින්නට ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් අපට ද යුතුකමක් පවතින බව මේ නත්තලේ සිහි තබා ගත යුතුය. මේ සාමයේ පණිවිඩය ජීවිත අතර පවතින තීරු සහ පේළි අතරේ කියවමින් මෙනෙහි කොට අත්දකින්නට අප දේශයක් වශයෙන්, ජාතියක් වශයෙන් පෙළගැසිය යුතුය. නවතාවයේ දේශයකට, පරිසරයකට ඒ ආධ්‍යාත්මික මංගල්‍යයේ සැබෑ ප්‍රීතිය එක්කර ගත යුතුය. 2024 වසරේ අත්දකින්නා වූ නත්තලේ මහා මංගල්‍යයේ පණිවිඩය හා ප්‍රීතියේ දෝංකාරය අප අත්විඳිනවා නම් ඒ අත්විඳීම සෑම කෙනෙක් කරාම විහිදී යෑමට කටයුතු කළ යුතුය. එය ඉතා සුන්දර අත්දැකීමකි. නත්තලේ, සාමයේ පිබිදීම සමඟින් ගහ කොළ පවා සංවේදී වන බව දැකිය හැකිය. වසරේ වෙනත් මාසවලට වැඩි වෙනසකින් සීතල සුළඟ හමා යමින් ගතට සිසිලසක්, සහනයක් ගෙන දෙමින් නත්තල් මාසය උදා වන්නේ ඒ සාමයේ පණිවිඩය ලොවට පැවසීමටය. නත්තල් ගව ලෙනෙන් විහිද ගියා වූ සාමයේ, සංහිඳියාවේ පණිවිඩය මිනිස් හදවත්වල, මිනිස් ජීවිත අත්දැකීම්වල දෝංකාර දිය යුතුය.

ඒ දෝංකාරය නිම්නාද වන වාරයක් වාරයක් පාසා අපට සිහිපත් කරන්නේ උපතේ මංගල්‍යය තුළ තිබිය යුතු බැඳියාවේ පැවැත්ම, බැඳියාවේ ජීවිතය හා බැඳියාවේ ආදරයයි. ඒ බැඳියාවේ ආදරය මනුෂ්‍යයා අත්විඳිනවා සේම මනුෂ්‍යයා ජීවත් වන පරිසරය තුළද අත්විඳීමට සූදානම් විය යුතුය. හැම නත්තලකදීම ජීවිතයේ දිශානතියන් හා ඉලක්කයන් පිළිබඳ කතා කරන අතර, විවේචනයෙන් දුරස්ව සංහිඳියාවේ දැක්මක වචන භාවිත කරමින් එකිනෙකා පිළිගන්නට අප සූදානම් නම් උපතේ මංගල්‍යයේ අරුත සැබවින්ම අප අතර නිර්මාණය වනු නොඅනුමානයි. ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපතේ මංගල්‍යයේ සාමයේ පණිවිඩය නත්තල් දා දසත පැතිරවීමට පිළිවෙත් අරබයා හැඩගැසීමෙන් සුන්දර සමාජයක් ද බිහි කරගත හැකිය.

ක්‍රිස්තූන් වහන්සේගේ කැමැත්ත

උන්වහන්සේ කියා සිටියේ තම ජීවිතය පවරා දීමෙන් සිදු කළේ නැතිවූ අන්ධකාර ජීවිතය නැවත ලබා දීම බවයි. කල්වාරි කඳු මුදුනේදී උන්වහන්සේ තම ජීවිතය මනුෂ්‍යයා වෙනුවෙන් පවරා දුන්නේ ස්ව කැමැත්තෙන්මය. මනුෂ්‍යයාගේ ජීවිතයේ ගැලවීම වෙනුවෙනුත්, ඔවුන් පාපයෙන් මුදා ගැනීම වෙනුවෙනුත්, නැවත දෙවියන් කෙරෙහි වන බැඳීම ඇති කරවීම වෙනුවෙනුත් ජේසුස් වහන්සේ සිය ජීවිතය පවරා දුන්හ. මනුෂ්‍යයාගේ පාපය, අන්ධකාරය තමන් වෙත පවරා ගනිමින් සංහිඳියාවේ සංකේතය ඇතිකරමින්, උන්වහන්සේ දරා ගත් රළු කුරුසය ජීවනයේ මහා සංකේතය බවට පරිවර්තනය කරමිනුයි උන්වහන්සේ මරණය වැලඳ ගත්තේ. උන්වහන්සේගේ උපත සිදුවන්නේත්, මරණය වැලඳගත්තේත් දනන් පාපයෙන් මුදාලීමටයි. උන්වහන්සේගේ කැමැත්ත වුණේ දනන්ගේ යහපත පමණයි.

කිතුනුවන්ගේ මංගල්‍යය

කිතුනුවන් මේ කාලයේ පල්ලි කරා ගමන් කරමින් දෙවියන් ඉදිරියේ තම ජීවිත යටගියාව පිළිබඳව ස්ව පාපොච්චාරණයක් සිදු කිරීමයි සිදු වන්නේ. වැරදීම්, වැටීම්, අන්ධකාරයන්, පශ්චාත්තාපී අත්දැකීම් දෙවියන් ඉදිරියේ පවසමින් යළි තම ජීවිතයේ නිසි මාර්ගය දෙවියන් ඉදිරියේ යදිමින් කිතුනුවන් පල්ලි ඇවිත් ඉල්ලීම් කරන්නේ ජීවිතයේ යහපත උදා කර දෙන ලෙසයි. සෑම වසරක් අවසානයේම සීතල උඳුවප් මාසයේ නත්තල් දවසේ පිරිසුදු වෙමින්, සුන්දරව සැරසී, මුළු පවුලම එකමුතුවෙන් ඔවුන් පල්ලි එන්නේ ඒ අලුත් බව නත්තල් දවසේ ජීවිතයේ ඇතුළාන්තයෙන්ම පිළිගනිමින් ජීවිත නවෝදයක් කරා ගෙන යෑමටයි. රට පුරා සෑම ක්‍රිස්තියානි දෙව් මැදුරකම නත්තල වෙනුවෙන් සුවිශේෂී සූදානමක් පවතියි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපතේ අත්දැකීම ලොකු, කුඩා සෑම කිතුනුවකුම විඳ ගැනීමට සූදානම් වන්නේ ඉතා උද්‍යෝගයකිනුයි. බැති ගී, දේශනා, කැරොල්වලින් උපලක්ෂිත නත්තලේ අඬහැරය සෑම කිතුනුවකුටම මහා මංගල්‍යයක්.

මිථ්‍යා විශ්වාස

නත්තල් සීයා, ගස, තෑගි භෝග මේ කිසිම දෙයක් මිථ්‍යා දේවල් නෙවෙයි. ඒවා අපේ සංස්කෘතියේ අංගෝපාංගයි. කිතුනුවන්ට ආවේණික සංස්කෘතියක් පවතින අතර එය විශ්වීය වේ. එක් දේශයකට පමණක් ආවේණික සංස්කෘතීන් අප අතර නැත. මුළු කිතුනු ලෝකයක්ම නත්තල් ගස, සීයා මෙන්ම තෑගි භෝග පිළිගන්නේ තම සංස්කෘතියේ එක් පාර්ශ්වයක් ලෙසින්ය. ඒවායෙන් ගෙන එන්නේ නත්තලේ විචිත්‍රභාවයයි. ගවලෙන ක්‍රිස්තුන් වහන්සේගේ උපතේ විචිත්‍රත්වයයි. කිතුනුවන් මේ දේවල් සූදානම් කරන්නේ දැඩි භක්තියකින් හා ප්‍රීතියකින් යුතුවයි. නත්තල් ගස, ගව ලෙන ආදියෙන් පෙන්වන්නේත් නත්තලේ පෙරසූදානමයි. එකමුතු බව, ඉවසීම ඇති කිරීමත් මේ දේවල්වලින් සිදු කෙරෙයි. කිතුනු ගෙදරක මවුපියන්, දරුවන් එකතු වී නත්තල් සැරසිලි වෙනුවෙන් සූදානම් වන්නේ සති ගාණක් මුළුල්ලේය. නත්තල් සීයා ලෙසින් හඳුන්වන්නේ ශාන්තුවරයෙකි. එනම්, ශාන්ත නිකුලා මුනිතුමා නත්තල් සීයා ලෙසින් එළිදැකීමත් සමඟ සෑම නත්තලකම මෙම අංගය නැතිවම බැරි අංගයක් බවට පත් විය. එතුමාගේ මංගල්‍යය අප සෑම දෙසැම්බරයකම මුල් සතියේ සමරනු ලබන්නකි. එතුමා හා බැඳුණා වූ ආධ්‍යාත්මික පණිවිඩයෙන් ඔබ්බට යමින් පොදුවේ විවිධ අරමුණු යටතේ නත්තල් සීයා සංකේතය නත්තල හා බැඳී පවතී. අසරණ සරණ හෙවත් රහසින් දිළින්දන් නඟාසිටුවීම, දිළිඳු – ධනවත් කියා දරුවන් අතර බෙදීමක් ඇති නොකර දිළින්දන් නඟාසිටුවීමට ශාන්ත නිකුලා මුනිතුමා එදා කළ කාර්යභාරය ඉදිරියට ගෙන යෑම වත්මන් නත්තල් සීයාගේ කාර්යභාරය වී තිබේ. රහසින් එකිනෙකාගේ අභිමානය සුරක්ෂිත කිරීම මෙහි අරමුණයි. යම් කෙනකුට එය මිථ්‍යාවක් ලෙසින් පෙනුනද කිතුනුවන් අතර නත්තල් සීයා කිසිම විටෙක මිථ්‍යාවක් වන්නේ නැත.

ශාන්ත සාගර හෙට්ටි­ආ­රච්චි පිය­තු­මා(මීග­මුව සාන්ත මරියා දේව­ස්ථා­නයේ මීසම් සේවක, මීග­මුව දිසාව භාර ප්‍රධාන පිය­තු­මන්)

ශාන්ත සාගර හෙට්ටි­ආ­රච්චි පිය­තු­මා
(මීග­මුව සාන්ත මරියා දේව­ස්ථා­නයේ මීසම් සේවක, මීග­මුව දිසාව භාර ප්‍රධාන පිය­තු­මන්)

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවන මොහොතේ සියල්ලෝම දේවස්ථාන වෙත පැමිණ යාඥා කිරීම සිදු කරන අතර, එය සිදු වන්නේ නත්තල උදාවන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේය. ජේසුස් වහන්නේ නැවත ලෝකයට එන බවට උන් වහන්සේ පවසා තිබේ. ඒ අනුව ලොව පුරා දේවස්ථානවලදී උන්වහන්සේගේ දෙවැනි ආගමනය අපේක්ෂා කරමින් යාඥා පවත්වයි. එමෙන්ම නත්තලේදී ඇති හැකි අය නැති බැරි අය හා බෙදා ගැනීමක් කරන ලෙස පල්ලි හරහා කරන දැනුම්දීම් මත සෑම කිතුනුවකුටම නත්තල සැමරීමට හැකි වී තිබීමත් විශේෂයකි. මගේ ගැලවීම, මගේ නිවීම වෙනුවට අපේ ගැලවීම, අපේ නිවීම අපේක්ෂා කිරීම තුළින් සෑම දෙනාටම සැනසුම උදා වේ. ‘අසල්වැසියාට ප්‍රේම කරන්න’ යන කියමන තුළින් ද නිරූපණය කරන්නේ ඒ පොදු බවේ හැඟීමයි. බැඳීම් අලුත් කර ගැනීමයි.

සටහන –

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT