ජංගම ගරාජයක් ත්‍රිරෝදයේම හදාගෙන
වයස අවුරුදු අටේ සිට වයස අවුරුදු 65 වනතුරුත් මහමඟ අතරමං වන වාහන හිමියන්ගේ, රියැදුරන්ගේ පිහිටට පැය විසි හතර පුරා එන කාර්මික ශිල්පියකු පසුගියදා අපට ගලේවෙල ප්‍රදේශයේදී හමුවිය. ප්‍රදේශය පුරා ‘මල්ටි අයියා’ නමින් ජනප්‍රිය මෙම අපූරු කාර්මික ශිල්පියා වන්නේ, ගලේවෙල දඬුයාය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.එම්. විමලසූරිය මහතායි. මැල්සිරිපුර සිට දඹුල්ල දක්වා ප්‍රධාන මාර්ගයේ මෙන්ම ඒ ආසන්නයේ ඇති ඕනෑම අතුරු මාර්ගයක ඩීසල් සහ පෙට්‍රල් වාහන අතරමඟ ආපදාවන්වලට, කාර්මික දෝෂවලට ලක් වූ විට මල්ටි අයියා ඒ අයගේ පිහිටට පැය විසිහතර පුරාම පැමිණෙයි. ඔහුගේ දුරකතන අංකය එම ප්‍රදේශවල ත්‍රිරෝද රථ, වෑන් රථ, තේ කඩවල අය අතර මෙන්ම ප්‍රදේශවාසී බොහෝ දෙනකු ළඟ තිබෙන්නකි. මේ අනුව ඔහුට ලැබෙන ඇමතුම අනුව තම සේවාව නොපිරිහෙළා ලබා දීමට ‘මල්ටි අයියා’ පසුබට නොවේ. ත්‍රිරෝද රථයේම තම ගරාජය පවත්වාගෙන යන ඔහු සන්තකයේ වාහනයක් කැඩුණු විගස අවශ්‍ය කරන සියලු දේ තබාගෙන තිබීම ද විශේෂත්වයකි.
මෙම අපූරු ශිල්පියා සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණේ, පසුගියදා ගලේවෙල, වෑමැඩිල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවේදී විගස ත්‍රිරෝද රථයෙන් පැමිණ ඔහු එය සකසා දීම සිදු කරන අවස්ථාවේදීය. ඔහු සඳහන් කළේ, තමන්ගේ තාත්තා සහ බාප්පාගේ ආභාසයෙන් වයස අවුරුදු අටේ සිට තමා කාර්මිකයකු බවට පත් වූ බවයි. එදා සිට ඔහු බොහෝ කාලයක් අතරමඟ කැඩී අතරමං වන වාහනවල පිහිටට එන බව කියා සිටියේ ඉතා සතුටිනි. පසුව මැදපෙරදිග රටවල් කිහිපයක වසර ගණනාවක් ඩීසල් සහ පෙට්‍රල් වාහන කාර්මික ශිල්පියකු ලෙස සේවාව ලබා දී නැවත ලංකාවට පැමිණ සුපුරුදු පරිදි මහමඟ අතරමං වන ජනතාවගේ පිහිටට එන පැය විසි හතර පුරා ක්‍රියාත්මක ජංගම කාර්මික රථය සකසා ගත් බව ද හෙතෙම සඳහන් කළේය. රාත්‍රිය, දහවල, වැස්ස, අව්ව නොබලා තමන් එම වාහන හිමියන්ට පිහිට වන බවත්, එහිදී අමතක නොවන සිදුවීම් රැසක් තමන්ට ජීවිත කාලයේ අත්විඳීමට ලැබුණු බවත් ‘මල්ටි අයියා’ අප සමඟ සඳහන් කළේය.
‘මල්ටි අයියා’ යන නම ඔහුට පටබැඳුණු ආකාරය ද හෙතෙම අප සමඟ සඳහන් කරන්නට විය. දිනක් එක් පුද්ගලයකුගේ වාහනයක ඇති කාර්මික දෝෂය සොයා ගැනීම සඳහා දින ගණනාවක් මහන්සි වුවද කිසිවකුට එය සොයා ගැනීමට නොහැකි වී ඇති අවස්ථාවක ඔහුට එය සාදා දෙන ලෙස කියා ඇත. කුඩා බට කැබැල්ලක් රැගෙන එය කනට තබා වාහනය පරීක්ෂා කොට ආපදාවට ලක්ව ඇති ස්ථානය පෙන්වීමත් සමඟ කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි අයෙක් මෙයා නම් මල්ටි මීටරයක් වගේ යැයි ප්‍රකාශ කරමින් පිටට තට්ටුවක් දැමීමත් සමඟ අවට සිටි පිරිස මල්ටි යන නම තමාට පටබැඳි බවත්, එය දිගින් දිගටම වසර ගණනාවක් තිස්සේ භාවිත වීමෙන් විමලසූරිය යන නම වෙනුවට ‘මල්ටි අයියා’ යන නම ජනප්‍රිය වූ බවත් ඔහු කියා සිටියේය.
තැනක් නොතැනක්, වේලාවක් අවේලාවක් නැතිව අතරමඟ නතර වන වාහන රියැදුරන්ගේ පිහිටට එන තමාගේ ආයුධ, යතුරු පෙට්ටිය පවා වරෙක යමකු සොරා ගත් බව ඔහු සිය මතකයන් අගිස්සවන අතරේ සිහිපත් කළේ දැඩි කනස්සල්ලකිනි. ඇතැම් වාහන හිමියන් මුදල් ඇතිව සහ මුදල් නැතිවත්, ඇතැම් අය තමන්ට ඕනෑවටත් වඩා මුදල් ලබා දෙමිනුත් සේවාව අගය කරන බව කී ‘මල්ටි අයියා’, දිනෙක කුඩා ළමුන් පිරිසක් ගමන් ගත් වාහනයක් අතරමඟ නැවතී එය රාත්‍රියේ සකසා දීමත් සමඟ එම දරුවන් සියලු දෙනා තමන්ට දණගසා වැඳ පිටව ගිය මතකය ද සිහිපත් කළේ ඉතා සතුටකිනි. ඔහු අවසාන වශයෙන් කියා සිටියේ පැමිණිය හැකි දුරක සිදුවන ඕනෑම වාහනයක් අනතුරක් හෝ කාර්මික දෝෂයකට තමාගේ සේවාව නොපිරිහෙළා ලබා දීමට තමන් සූදානමින් සිටින බවයි.