Tuesday, May 13, 2025
Home » විදුලි බිල අඩු කර පාරිභෝගිකයාට සහන සලසන්න

විදුලි බිල අඩු කර පාරිභෝගිකයාට සහන සලසන්න

මන්ත්‍රී නලින් බණ්ඩාර

by mahesh
December 25, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

විදුලි බිල අඩු කර පාරිභෝගිකයාට සහන සැලසීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ ක‍ළේය.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේද පැවැසීය. වර්තමාන රජය විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු කරන බවට බලය ලබා ගැනීමට පෙර ජනතාවට පොරොන්දු වුණා. විදුලිබල මණ්ඩලය විදුලිබල පනතට අනුව විදුලි බිලේ අඩු කිරීමක් කළ යුතුව තිබුණා. නමුත් විදුලි බිල අඩු කරන්න එපා කියලා රජය විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක් සිදුකරලා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසන් සභාව විදුලි බිල සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදුකරන විට විදුලිබල මණ්ඩලයත් රජයත් ඒකරාශිවෙලා ජනතාවට සහනයක් ලබාදෙන්න තිබෙන අවස්ථාව වළක්වලා තිබෙනවා. ජාතික ජන බලවේගය බලය ලබාගත් පසු දැන් කියනවා විදුලි බිල අඩු කරන්න වසර 3ක පමණ කාලයක් ගත වෙයි කියලා. නමුත් කාර්තුවෙන් කාර්තුව විදුලි බිල අඩුවෙන්න හෝ වැඩි වෙන්න අවශ්‍යයි. දැන් තිබෙන ගණනය කිරීම් අනුව විදුලි බිල අඩුවිය යුතුයි. අඩුවෙන්න තිබෙන විදුලි බිලත් අඩු නොකර විදුලි පාරිභෝගිකයින්ට සහනයක් නොදී කර්මාන්තකරුවන්ට සහනයක් නොදී විදුලි බිල සංශෝධනය කිරීම බලහත්කාරයෙන් නවත්වලා තිබෙනවා. ඒ සඳහා විපක්ෂයේ විරෝධය පළ කරනවා. ඒ වගේම වහාම විදුලි බිල අඩු කරන්නැයි කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම විශ්‍රාමික ප්‍රජාවට තැන්පතු සඳහා වැඩි පොලියක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා ජාතික ජන බලවේගය පොරොන්දුවක් ලබා දුන්නා. නමුත් දැන් විශ්‍රාමික ප්‍රජාවට ලැබුණ පොලියත් අඩු වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා මැති ඇමැතිවරුන්ට අල්ලස් ලෙස බාර් පර්මිට් ලබාදීලා තිබෙනවා කියලා. බාර් පර්මිට් ගත්ත මැති ඇමැතිවරුන්ගේ දේශපාලනඥයින්ගේ නම් හෙළිදරවු කරනවා කියලත් ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයේ බාර් පර්මිට් ලබාගත්ත මැති ඇමැතිවරුන්ට සම්බන්ධ සුළු පිරිසකගේ නම් තමයි තිබුණේ. නමුත් බහුතරයක් නම්වලට දේශපාලනඥයින් සම්බන්ධ ද නැද්ද යන කාරණය ආණ්ඩුව හෙළිදරවු කළේ නෑ. විපක්ෂය ලෙස අපි රජයෙන් ඉල්ලා සිටියා ඒ නම් පාර්ලිමේන්තුවට හෙළිදරවු කරන්න කියලා. බාර් පර්මිට් ගත්තේ කවුද, ඒ සඳහා මැදිහත් වුණේ කවුද කියලා පාර්ලිමේන්තුවට හෙළිදරවු කරන්න කියලා සමගි ජන බලවේගය ප්‍රකාශ කළා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT