අනුරාධපුර, කටුකැලියාව, ගල්පොත්තේගම ප්‍රදේශයේ, යෝජිත රක්ෂිතයක් වන කටුගම්පලයාගම රක්ෂිතයේ තිබූ විශාල ප්‍රමාණයේ ගස් කපා දමමින් මොරගොල්ලාගම වැව් රක්ෂිතයට ඇතුළු වෙමින් සිටි සැකකරුවන් දෙකක්, බැකෝයන්ත්‍රයක්, ට්‍රැක්ටරයක් සහ කපාදමා තිබූ විශාල ප්‍රමාණයේ ගස් සහ කඳන් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක් පවන වන අනුරාධපුර, ගල්පොත්තේගම සහ ගල්පාලම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකි.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා විසින් කපා දමන ලද විශාල ප්‍රමාණයේ ගස්, බැකෝයන්ත්‍රය ආධාරයෙන් ට්‍රැක්ටරයට පටවමින් සිටි බවත් තවත් ගස් කැපීමට නියමිතව සිට ඇති බවත් ක්ෂේත්‍ර සහකාරවරයෙකු සඳහන් කළේය.
වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී දැව කඳන් පහළොවක්, වට අඩි 10ත් 15ත් අතර ප්‍රමාණයේ විශාල ගස් නවයක් සොයා ගත් බවත්, එම දැව කඳන් සහ විශාල ප්‍රමාණයේ ගස් දැව සංස්ථාවට භාර දීමට කටයුතු කළ බවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෑත කාලයේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාවට සිදුවූ වන විනාශයක් වැටලීම සඳහා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී, නීතිඥ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර කඳවුරේ විශේෂ කාර්ය බළකා සෙබළුන් සහභාගි වූ බවත්, එම නිසා සැකකරුවන් අත්අඩංගුවෙන් මිදී පැනයාම, වන නිලධාරීන්ගේ වාහනවලට මෙන්ම ජීවිතවලටද ආරක්ෂාව ලැබුණු බව අනුරාධපුර අඩවි වන නිලධාරී ආර්. සුමිත් සුවාරිස් මහතා මෙහිදී පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ බැකෝයන්ත්‍රය, ට්‍රැක්ටර් රථය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර දිසා වන නිලධාරී හේමන්ත විජේරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර අඩවි වන නිලධාරි ආර්. සුමිත් සුවාරිස්, වන ක්ෂේත්‍ර සහකාරවරුන් වන සදීශ නවගත්තේගම, චාමින් මදනායක යන මහත්වරුන් සමඟ අනුරාධපුර විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක චාමර, සැරයන් ජයපද්ම යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.