අපරාධ ගණනාවකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු පෙරේදා (23) අලුයම දිඹුලාගල කළුකැලේ ප්‍රදේශයේදී, සිරිපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට අයත් ත්‍රිරෝද රථයෙන් සිරිපුර පොලීසිය දක්වා රැගෙනයමින් සිටියදී වරෙන්තුකරු ත්‍රිරෝද රථයේ රියැදුරුගේ ගෙල සිරකර පලායෑමට උත්සාහ කිරීමේදී ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සුළු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලීසිය සඳහන් කරයි.
කළුකැලේ බදනාගල ප්‍රදේශයේදී සැකකරු රියැදුරු සමඟ පොර බදා ගෙල සිරකිරීමත් සමඟ පොලිස් නිලධාරියෙකුගේ ටී 56 ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් පිටවී ඇති අතර ඉන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බව ද පොලීසිය සඳහන් කරයි.
වරෙන්තුකරු සමඟ ත්‍රිරෝද රථයේ පැමිණි බිරිය, දරුවා මෙන්ම සහෝදාරයා ද පෙරළීමට ලක්වූ ත්‍රිරෝද රථය අසලට පැමිණ පොලිස් රාජකාරි කටයුතුවලට බාධාකර වරෙන්තුකරු රැගෙනයාමට උත්සාහ දරා තිබේ. අනතුරුව ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන් පලායමින් සිටි බිරිය, දරුවා, සහ සහෝදරයා මනම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සිරිපුර පොලීසියට ඉදිරිපත්කොට ඇත.
සැකකරුගේ බිරියට ද වරෙන්තුවක් තිබෙන අතර ඇය මනම්පිටිය පොලීසිය මඟින් සිරිපුර පොලීසියට භාරදීමෙන් අනතුරුව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින බව ද සිරිපුර පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන සිටින වරෙන්තුකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සිරිපුර පොලීසිය සඳහන් කරයි.