ජේසුස් වහන්සේ බලාපොරොත්තු වූයේ ඔවුනොවුන් කෙරෙහි ආදරය, කරුණාව, දයාව හා අනුකම්පාව දැක්වීම බවත් නත්තල සමරන මේ වැදගත් අවස්ථාවේ සියලු දෙනා එය මතකයේ තබා ගැනීම වැදගත් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.
නත්තල නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අනුනායක හිමියෝ මෙසේද පැවසූහ.
තවදුරටත් එම ප්‍රකාශයේ මෙසේද සඳහන් වෙයි.
සිහිවිකල් උන්මත්තක ස්වරූපයෙන් එකිනෙකාට අභියෝග කරමින් අවි බලයෙන් තමන් ගේ බලවන්තකම පෙන්වීමට බලවත් රටවල් ගන්නා උත්සහය නතර නොවුණහොත් මිනිස් සංහතිය මිහිතලයෙන් විනාශ වී යනු ඇතැයි ද උන්වහන්සේ කීහ.
අද මුළු ලෝකයේම ජනතාව බියෙන්, සැකයෙන් හා නොසන්සුන්තාවයෙන් ජීවත්වන බව අපට පේනවා. අපට සිතාගත නොහැකි තරමට මිනිසාගේ විනාශය සඳහා නිෂ්පාදනය කෙරෙමින් තිබීම මෙයට හේතුවයි. බලවත් රටවල් තමන්ට තිබෙන ආයුධමය ශක්තිය පදනම් කරගෙන අනෙක් අය ඉදිරියේ ඒ ශක්තිය පිළිබඳව ආඩම්බරයෙන් කතා කරනවා. ඒ වගේම ජාතියක් තවත් ජාතියකට, රටක් තවත් රටකට තර්ජනය කරමින් සිටිනවා. මේ විදිහේ තර්ජනාත්මකව ආඩම්බරයෙන් කතා කරන්නේ සැබෑ මානසිකත්වයකින් කියලා අපිට හිතන්න බැහැ. සිහිවිකල්, උන්මත්තක ස්වරූපයකින් අභියෝග කරමින් මහා බලවත්තු මේ විදිහට පියවරෙන් පියවර ඉදිරියට ගියොත් මිහිතලයෙන් සම්පූර්ණයෙන් මිනිස් සංහතිය නැති වී යන මට්ටමට ලෝකය විනාශ වීමට පුළුවන්.
මේ තත්ත්වයෙන් ලෝකය මුදවා ගන්න නම් සෑම කෙනෙක්ම ආගමික නාකයින්ගේ මූලික ඉගැන්වීම් පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. බුදුන් වහන්සේ, ජේසුන් වහනේසේ ඉගැන් වූයේ කරුණාව, දායව,මෛත්‍රිය, අනුකම්පාව හා එකිනෙකාට ගරු කිරීමයි. මේ යහපත් ගුණාගංවලින් සෑම කෙනෙකුම තමන්ගේ ජීවිත පෝෂණය කරගත යුතුයි.