Tuesday, May 6, 2025
Home » සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරටුව නත්තල සමරමු
නත්තල් දින පණිවිඩ

සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරටුව නත්තල සමරමු

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

by mahesh
December 25, 2024 1:03 am 0 comment

නත්තලේ සැබෑ අර්ථය වන සාමුහිකත්වය, කෘතඥතාව සහ සාමය පෙරදැරි කර ගනිමින් උදා වූ නත්තල ප්‍රීතිමත්ව සහ අර්ථාන්විතව ගතකරමු යැයි අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නත්තල් සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් පවසයි.

එම පණිවුඩයේ තවදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජාතියක් වශයෙන් නැවත ගොඩනැඟෙන මෙම පුනරුද සමයේ තම පවුල හා හිතමිත්‍රාදීන් සමඟ කාලය ගතකිරීම ඉතා වැදගත්.

සාමුහිකව කටයුතු කිරීම, බෙදා හදා ගැනීම හා එකිනෙකාට සහය වීම මඟින් අපගේ සබඳතා මෙන්ම ශක්තීන් ද වර්ධනය වේ. නීරෝගි ජන ප්‍රජාවක් සහ ශක්තිමත් ජාතියක් ගොඩනැඟීම ආරම්භ වන්නේ නිවෙසින් බව මෙවැනි සාමුහික ප්‍රයත්නයන් අපට මතක් කරදෙයි.

දේශීය මෙන්ම විදේශයන්හි සේවය කරන හා අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන, මේ උත්සව සමය තම ආදරණීයයන් සමඟ ගත කළ නොහැකි පිරිස ද මේ මොහොතේ කෘතඥ පූර්වකව සිහිපත් කළ යුතුයි. ලෝකය පුරා පවතින විවිධ ගැටුම් හා ව්‍යසනයන් මධ්‍යයේ කුඩා දරුවන් පවා මිය යන මෙවන් මොහොතක, අපි තවමත් අපේ හදවත් තුළ සාමයේ බලාපොරොත්තු දල්වාගෙන සිටිමු. පවුලක්, සමාජයක් හා ලෝකයක් ලෙස සමාව දීමේ සහ සමඟිව සිටිමේ වැදගත්කම නත්තල අපට සිහි ගන්වයි.

මෙම උත්සව සමයේදී අපගේ මෙන්ම අන් අයගේ ද ආරක්ෂාවට මුල් තැන දෙමින් සියලු දෙනා සමඟ සහයෝගයෙන් ප්‍රීතිමත්ව ගතකිරීමට වගබලා ගත යුතුය.

මෙම සමයේදී අන්‍යෝන්‍ය සබඳතා වැඩි දියුණු කර ගැනීමටත්, ඉවසීම වර්ධනය කර ගැනීමටත්, එකමුතුකම සහ අවබෝධය ඇති කර ගැනීමටත් අපි ඇප කැප වෙමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT