‘සුනාමි’ යන වචනය අපගේ සන්නිවේදන ශබ්දකෝෂයට එකතු වන්නේ 2004 වසරේ සිදු වූ සුනාමි ඛේදවාචකයෙන් අනතුරුවයි. එහෙත් සුනාමිය සිදු වූ දිනට පසු දින මෙරට මුද්‍රිත මාධ්‍ය හා විදත් මාධ්‍ය ඒ තොරතුර වාර්තා කර තිබුණේ ‘මුහුද ගොඩ ගලයි’ යනුවෙනි. ඉන් අනතුරුව මේ පිළිබඳ විධිමත් හැදෑරීම්වලින් අනතුරුව එය සුනාමි තත්ත්වයක් ලෙස නම් කෙරිණි. එතැන් පටන් එය සන්නිවේදන විද්‍යා ශබ්දකෝෂයේ භාවිතයන් අතරට එක්විය.
‘සුනාමි’ යනු ජපන් භාෂාවෙන් බිඳී ආ වදනකි. (ජපන් බසට එහි උච්චාරණය ‘ත්සුනමි’ යනුවෙනි). එහි තේරුම විශාල ‘වරාය රළ’ යන්නය. ඈත මුහුදේ පවතින උසින් අඩු රළ වරායට පැමිණෙන විට වරායේ පටු ස්වරූපය නිසා උසින් වැඩි වීම සිදු වේ. ජපන් ජාතිකයෝ මේ රළ ‘ත්සුනමි’ ලෙස හඳුන්වති. තවත් පිරිසක් මෙය හඳුන්වන්නේ ‘උදම් රළ’ යනුවෙනි. සුනාමි පිළිබඳ වෙබ් අඩවිය සඳහන් කරන්නේ ‘සාගරික ජල කඳ ක්ෂණිකව කැලඹීමකට ලක් වී සිරස්ව නිර්මාණය වන ජල තීරුවක් නිසා සෑදෙන දිය රැල්ලක් හෝ දියරළ කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වන තරංග’ ලෙසයි.
න්‍යායාත්මක අර්ථ දැක්වීම කෙසේ වුවත්, සුනාමි ඛේදවාචකය සිදු වී අදට හරියටම වසර විස්සකි. වසර විස්සකට එපිටදී සිදු වූ එකී බරපතළ සමාජ ඛේදවාචකය සහ ඉන් අනතුරුව ඇති වූ සමාජ බලපෑම වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සුදුසුම මොහොත මෙය බව අපි කල්පනා කරමු.
2004 දෙසැම්බර් 26 වැනි දින සිදු වූ සුනාමි ඛේදවාචකය නිසා මියගිය සහ අතුරුදන් වූ ගණන හතළිස් දහසකට අධික බව සංඛ්‍යාලේඛනවල දැක්වේ. සංඛ්‍යාලේඛනවල කවරක් සඳහන් වුවත්, එය ඊට වඩා වැඩි බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඉන් මියගිය ගණන දෙවැනි වන්නේ 88-89 කාලයේ පැවති රාජ්‍ය ත්‍රස්තවාදය විසින් බිලිගනු ලැබූ තරුණ ජීවිත සංඛ්‍යාවට පමණි. රටේ ශ්‍රම බළකායෙන් මේ සා පිරිසක් එක් දිනකදී අහිමි වීම සහ භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් යළි ගොඩගත නොහැකි සේ විනාශ වීම රට ආපස්සට ගමන් කරවන කාරණයකි. ‘ආපදා සන්නිවේදනය’ (Disaster communication) යන විෂයක්ෂේත්‍රය සන්නිවේදන විද්‍යා ශබ්දකෝෂයේ තවත් මාතෘකාවක් බවට ඉන් අනතුරුව පත්විය.
සුනාමි ඛේදවාචකයට විසි වසරක් සපිරෙනදා අප කල්පනා කළ යුත්තේ සුනාමියෙන් උගත් පාඩම් කවරේ ද යන්නයි. සුනාමියෙන් පසු විදේශයන්ගෙන් අපට තොග පිටින් ආධාර ලැබුණු අතර, එකී ආධාර මුදල් මෙරට සැබෑ සංවර්ධනයට යෙදවූවා ද යන ගැටලුව තවමත් පවතියි.
සුනාමි ඛේදවාචකය සමඟ එක්වරම සිහියට නැඟෙන සිදුවීම් තුනකි. තවත් බොහෝ සිදුවීම් ඇතත්, ඉන් මේ සිදුවීම් තුන කෙරෙහි අවධානය යොමු කරමු.
පළමුවැන්න ‘හෙල්පින් හම්බන්තොට’ නඩුවයි. දෙවැන්න ‘රාඩා ව්‍යාපෘතිය’ පිළිබඳ සිද්ධියයි. තුන්වැන්න ‘සුනාමි සහන මණ්ඩලය’ යි.
සුනාමියෙන් විනාශ වූ හම්බන්තොට යළි ගොඩනැඟීම පිළිබඳ වෙනම අරමුදලක් ‘හෙල්පින් හම්බන්තොට’ නමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද අතර, ඒ අරමුදල්වලින් රුපියල් අට කෝටි විසි ලක්ෂයක් අවභාවිත කරන ලදැයි ඔහුට චෝදනා එල්ල විය. මේ නඩුවෙන් ඔහු නිදහස් වුවත්, ඒ නඩුවේ තීන්දුව දීම පිළිබඳව තමා ජාතියෙන් සමාව ඉල්ලන බව එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කොට තිබිණි.
සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් උතුරු හා නැඟෙනහිර පළාත්වල ජනතාවට නිවාස ඉදි කිරීමට රාඩා ආයතනයට දුන් රුපියල් කෝටි දාහතක මුදලක් එකදු නිවෙසක් හෝ ඉදි නොකොට අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැති ටිරාන් අලස් මහතාට චෝදනා එල්ල වූ නමුත්, ඒ නඩුවෙන් ඔහු ද නිදහස් කෙරිණි.
සුනාමි සහන මණ්ඩලය යනු එවකට පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය උස්සා පොළොවේ ගැසූ සිද්ධියකි. එවකට පැවති රජයේ ඇමැතිකම් දැරූ ජනතා විමුක්ති පෙරමුණේ ඇමැතිවරුන් හතර දෙනා සහ නියෝජය ඇමැතිවරුන් හතර දෙනා ඊට ප්‍රතිවිරෝධය පා ඉල්ලා අස් වීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියකි. පෞද්ගලික ලාභ අපේක්ෂා මත වරප්‍රසාද ලබන දේශපාලකයන් අතර ප්‍රතිපත්තිමය කාරණයක් නිසා තනතුරු අත්හැර පොදු බස් රථයේ නැඟී ගෙදර ගිය ඇමැතිවරුන් පිළිබඳ ඉතිහාසයක් ශ්‍රී ලාංකේය ඉතිහාසෙය් වෙනත් තැනක ලියවී නැත.
හෙල්පින් හම්බන්තොට නඩුවෙන් හා රාඩා ගනුදෙනුවෙන් ඊට චෝදනා ලැබූවන් නිදහස් වුව ද ඔවුන්ගේ හෘදයසාක්ෂියෙන් නිදහස් විය හැකි දැයි අපි යළිත් ප්‍රශ්න කරමු.
මෙතෙක් කල් සිදු වූයේ සුනාමි සංවත්සරය සපිරෙන දා පුවත් නිවේදන නිකුත් කිරීම, පහන් පත්තු කිරීම, සුනාමි සැමරුම් උත්සව පැවැත්වීම පමණකි. සුනාමියෙන් ලැබුණු පාඩම් කියවාගෙන, එය රටේ සුබවාදී දිශානතියට රැගෙන යෑම සඳහා වැඩපිළිවෙළක් දැන්වත් සකස් කළ යුතුය. සුනාමිය පිළිබඳ කවි, ගීත, වාර්තා චිත්‍රපට කිරීමෙන් පමණක් එය සිදු කළ නොහැකිය. මන්ද යත්: සුනාමි අවස්ථාවේදී අපට ලැබුණු ජාත්‍යන්තර සහයෝගය වඩාත් ඵලදායී ලෙස භාවිත කරන්නට එවකට පාලක පන්තියට නොහැකි වූ බව අපගේ අදහසයි. ලැබුණු ආධාර මුදල් අමුඅමුවේ, කිසිදු හිරිකිතයකින් තොරව තම ගෝලබාලයන් සමඟ කොල්ලකෑවේ ඒ හේතුවෙනි.
සුනාමිය යනු ස්වාභාවික ආපදාවකි. එවැනි ස්වාභාවික ආපදා යළි යළිත් ඇති විය හැකිය. එය වැළැක්විය නොහැකි යථාර්ථයකි. එහෙත් රටකට දිගින් දිගටම දේශපාලනික ආපදා සිදු වන්නේ නම් එය පෙරට වඩා ඛේදවාචකයකි. ස්වාභාවික ආපදාවලට වඩා දේශපාලනික ආපදා බරපතළ බව අප සඳහන් කරන්නේ ඒ හේතුවෙනි.
වර්තමානයේ රට පවතින්නේ දේශපාලනික ආපදාවලින් රට මුදාගෙන, නිවැරදි මාර්ගයට පීලිගත කරන ආරම්භක මොහොතේය. ජනතා අභිලාෂයන් මොට කරවන දේශපාලනික ආපදා සහ පිල්ලි තවමත් පවතින බව පසුගිය කාලයේ වූ ඇතැම් සිදුවීම්වලින් හොඳින් අවබෝධ වනු ඇත.
එයින් ස්වාභාවික ආපදාවක් වූ සුනාමියට විසි වසරක් දා රටේ ඇති දේශපාලනික ආපදා නිවැරදිව හඳුනා ගැනීම වත්මන් ආණ්ඩුවට ඉතා වැදගත් වනු ඇත.
එහෙයින් එකී දේශපාලනික ආපදා හොඳින් හඳුනාගෙන, ඊට නිවැරදි දේශපාලනික විසඳුම් දී, රට නිවැරදි
දිශානතියට යොමු කිරීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා
කරමු.