එය කිසිම වැඩකට ගැනීමට නොහැකි එක් පැත්තක් මුහුදට යාව තිබුණ බිම්කඩකි. වරායට අයත්ව තිබුණ මෙම බිම්කඩ මුහුදු ළිහිණින් හැරුණවිට වෙනත් කිසිවකුටත් කිසිම දෙයක් සඳහා සුදුසු තැනක් නොවන බව පෙනුණි.
මේ බිම්කඩ අද්දර එහෙන් මෙහෙන් වැවී තිබුණ ගස් ගොන්න අතරින් ගල්වලින් සැකසී තිබුණ කුඩා ගෙයක් පෙනෙයි. එහි පැළපදියම් වී සිටියේ පීටර් මෝසස්ය. ඔහු කාලාන්තරයක් තිස්සේම ලෝකය වටේම කරක් ගැසූ නාවික ඉංජිනේරුවෙක් විය. ඒ මීට බොහෝ කාලයකට කලිනි.
පීටර් මෝසස්ගේ නිවහන වූ මෙම ගෙය ඔහුගේ වයසටත් වඩා බොහෝමයක් පැරැණිය. මීට අවුරුදු ගණනාවකට පෙරාතුව මෙම නිවහන ඉදිකර තිබුණේ ඔහුගේ සීයාය. නගර සභාව කිහිප වතාවක් මෙම නිවහන මිලදී ගැනීමට උත්සාහ කළේ අලුතෙන් එහි ගොඩනැඟිලි ඉදිකරන්නටය. එහෙත් එය කිසිමදාක විකුණා දැමීමක් සිදු නොවිණි. පීටර් මෝසස් නිරන්තරයෙන්ම කල්පනා කළේ තමන් මැරුණායින් පසු නිවහනටත් කුඩා බිම්කඩටත් කුමක් වේදැයි කියාය. ඔහුට දරුමල්ලන් ද නොවිණි. පවුලක් ද නොවිණි. තනි නොතනියට උන්නේ බොසුන් පමණි. ඒ ද බල්ලෙකි.
පීටර් මෝසස් සෑම දිනයකදීම බොසුන් සමඟ මෙම මුඩු ඉඩම් කැබැල්ලේ එහා මෙහා ඇවිද්දේ ඇඟේ පතේ හිරි ඇර ගැනීමටය. තවමත් නාම්බන් වයසේ සිටින බොසුන් ජවසම්පන්නය. ඌ සිය ස්වාමියා තමන් වෙනුවෙන් ඈතට විසිකරන ගල් කැට සහ ලී කැබැලි දුව ගෙන ගොස් අහුලාගෙන එන්නට මනාපය. බල්ලා සමඟ සෙල්ලම් කරන මහලු මිනිසා වෙහෙසට පත්වන විට ඔහු අතේ වූ යෂ්ටියට බර දෙමින් නගරයේ අහස උසට ඇති ගොඩනැඟිලි දෙස නෙත් යොමු කරයි. ඔහු නගරය දෙස බලද්දී ඔහුට බඩු පුරවා ගත් නැව් මෙන්ම පාරු ද එහා මෙහා ගමන් කරනු දකින්නට හැකි වෙයි. පීටර් මෝසස් සිතාගෙන සිටින්නේ මෙය නගරයේ සුන්දරත්වය දක්නට ඇති හොඳම තැන ලෙසිනි. ඔහු කඩිසරව දුව පනිමින් වැඩ කළ ද ඔහු වටා සෑමවිටම පාළු හුදෙකලා බව අරක් ගෙන තිබිණි.
ඉරිදා දවස හැරුණ විට ඔහු අනෙක් සෑම දවසකම ඔහුට වුවමනා අඩුමකුඩුම මිලට ගැනීමට සෑහෙන දුරක් හෙමින් සීරුවේ ඇවිදගෙන යන්නේ ක්ලාක් මාවතේ සිල්ලර බඩු කඩවලටය. එහි යන සෑම දවසකම ඔහුගේ සිත කීරි ගැසී ගියේ ඔහුගේ නිවහනට ආසන්නයේම විශාල බුල්ඩෝසර් ලහි ලහියේ එහා මෙහා යමින් තව තවත් අලුත් අලුත් ගොඩනැඟිලි අහස දෙසට ඉදිවෙමින් තිබෙන අයුරු දැකීමෙනි. ඔහු නගරයට යන හැම වතාවකම අලුත් මුහුණු නිරන්තරයෙන්ම දැක ගත හැකි වෙයි. එහෙත් ඒ කිසිවකුටත් මෙම මහලු මිනිසා ගැන කිසිම හැඟීමක් නොවිණි. ඒ සියල්ලන්ටම වැඩ කටයුතු යහමින් තිබිණි.
“නත්තලත් හැම අවුරුද්දකම වගේ මේ පාරත් ළඟ ළඟම එනවා…” පීටර් මෝසස් තමන්ටම මිමිණුවේ කඩ සාප්පුවල ජනෙල් කවුළු දෙස බලමිනි. මෙය ඔහු වඩාත් බියට පත්වන කාල වකවානුවකි. තරමක් ලැජ්ජාශීලියකු වූ ඔහුට ඇති පදම් සල්ලි ඇතත් ඔහු කවදාකවත් මිතුරන් වෙනුවෙන් වියපැහැදම් නොකළේය.
එක්තරා සෙනසුරාදාවක උදෑසන ඔහු ටිකක් තැති ගත්තේ ඔහුගේ තරුණ වයසේ ළමයින් තුන් දෙනකු පාපැදි තුනකින් විත් මුඩු බිමෙහි කතා බස් කරමින් එහා මෙහා කරක් ගසමින් සිටිනු දැකීමෙනි. බොහෝ වේලාවක් රැඳී සිටි ඔවුහු ආපසු යන්නට ගියහ.
ඉරිදා දවස උදාවෙද්දී තව තවත් ළමයින් එතැනට රොක් වන්නට වූ අතර ඔවුන් කිසියම් දෙයකින් පුදුමයට පත්ව සිටින අයුරක් දැක ගත හැකි විය. ඔවුහු ඉස්කෝප්ප ගෙන මුඩු බිම හාරන්නට වූහ. පීටර් මෝසස් මේ සියල්ල බලා උන්නේ ජනෙල් කවුළුවෙනි. ඔහුට මේ ගැන කතා කරන්නට කිසිම අයිතියක් නොවීය. එහෙත් ඔවුන්ට අනුන්ගේ බිම්කඩකට ඇතුළුවීමට කොහෙත්ම අයිතියක් නැත. මොහොතක් බලා සිටි පීටර් මෝසස් සිය නිවහනේ දොර හැර බොසුන් ද සමඟ එළියට බැස්සේය.
“ළමයිනේ මොනවද ඔය කරන්නේ..?” ඔහු ඇසුවේය.. මේක මේ වරායට අයිති ඉඩමක්…. ඔයාලට බෑ මේකේ වළවල් හාරන්න… ”
“ඇයි බැරි…? ” කණ්ඩායමේ තරමක් තරබාරු ළමයා ග්ලෙන් ඇසුවේය. “මේක කිසි වැඩකට ගන්නේ නැති තැනක්… ”
“අපට බයිසිකල් පදින්න කොහේ හරි තැනක් තියෙන්න ඕනෑ… ” නිකෝස් කීවේය.
“පාරෙ පදින්න හොඳ නෑ… ” වෙනර් කීවේ සපත්තු අඩිය පොළොවේ හප්පමිනි.
“කොයික වුණත් මෙතැන මොනවා හරි කළොත් ඔයාලා ලොකු අමාරුවක වැටෙයි.. ”පීටර් මෝසස් කීවේය.
“ඒ වුණාට අපට බයිසිකල් පදින්න වගේම දුවන්න පනින්නත් තැනක් ඕනෑ..” මිචෙල් කීවේය.
“අපට මීට වැඩි ටිකක් ගොරහැඩි රළු බිමක් ඕනෑ… මේකත් එච්චර හොඳ තැනක් නෙමෙයි… ”
තරුණයෝ සියලු දෙනාම එක අදහසක වූයෙන් පීටර් මෝසස්ට මීළඟට කුමක් කළ යුතු දැයි සිතා ගත නෙහැකි විය. “ඔයාලා වෙන තැනක් හොයා ගන්න… ” ඔහු තරමක් රළු අයුරින් කීවේය. තවදුරටත් තරුණයන් සමඟ වාද විවාදවල පැටලීමට වුවමනාවක් නොවීයෙන් ඔහු බොසුන් ද සමඟින් එතැනින් නික්ම යන්නට විය. ඔවුන්ගේ කතා බහට ඔහුට දැඩි කෝපයක් දැනුණි.
තරුණයන් පිරිස ඔවුනොවුන් මොන මොනවාදෝ කුටු කුටු ගානු ඔහුට ඇසිණි.
“වෙන කොහෙවත් තැනක් නෑ…. තියෙනවා නම් මෙතෙන්ට එනවායැ… ” ග්ලෙන් කෝපයෙන් කෑගැසුවේය.
පීටර් මෝසස් නැවතුණේය. තරුණ ළමයින් කියන කතාව ඇත්තය. ඔවුන්ට සෙල්ලම් කිරීමට තැනක් නොවීය. එපමණක් නොව තමන් කුඩා සන්දියේ දී පවා තමන්ට සෙල්ලම් කිරීමට ද තැනක් නොවුණ බව ඔහුගේ මතකයට ආවේය.
“බලා ගම්මු එහෙනම්…” ග්ලෙන් කීවේය. “අන්න අර නාකි මනුස්සයා ආයෙ එනවා…” ග්ලෙන් එසේ කීවේ ඉස්කෝප්ප පසෙකලා ඔහු එන මග දෙස බලමිනි.
“මට මේ දැනුයි මතක් වුණේ…” පීටර් මෝසස් කීවේය. “මම මේ ගැන වරායේ භාරකාර කමිටුවට කියලා මේ ඉඩම සෙල්ලම් පිට්ටනියක් කර ගන්න උත්සාහ කරන්නම්… ඒ වගේම මම නගර සභාවටත් මේ ගැන කියන්නම්…”
“ඕකේ… නියමයි…” ග්ලෙන් කීවේය. “කවද්ද හරියටම මේ ගැන දැන ගන්න හම්බ වෙන්නේ…?”
“තාම හරියටම කියන්න බෑ…” පීටර් මෝසස් කීවේය. “ටිකක් ඔහොම ඉවසන්නකෝ… මේ සතිය අග්ගිස්සේ ඇවිත් මාව හම්බ වෙන්නකෝ… මම ඉන්නේ අර ටිකක් එහායින් පෙනෙන ගෙදර… ”
පාසල් කාල සීමාවෙන් පසු ළමයි හැම දෙනාම වරායේ පාළු මුඩුබිමට ආවෝය. ඒ සමඟම ඔවුහු බොහෝ කාලයක් මෙම බිම ඔවුන්ට ලැබෙන තුරු පීටර් මෝසස් ගැන විශාල බලාපොරොත්තු තබාගෙන සිටියහ. ඔවුහු දිගින් දිගටම මේ ගැන පීටර් මෝසස් සමඟ කතා බහ කළහ. ඔවුන් මඩු බිමෙන් නික්ම ගියායින් පසු පීටර් මෝසස්ට විශාල දුකක් දැනෙන්නට විය. ඔහු හැම පැත්තෙන්ම අසරණව සිටියේය. මුඩු බිම ළමයින්ට ලැබෙන පාටක් නොවිණි. ලොකු ලොක්කන්ගෙන් ද මේ වනවිටත් යහපත් ප්රතිචාරයක් නොවිණි. ඔහු එක් අතකටවත් සැනසීමක් ලබාගත නොහැකිව සිටියේය. යම් විදිහකින් මෙම සෙල්ලම් පිටිය ළමයින්ට අරන් දීමට නොහැකි වූවොත් ඔවුන්ගෙන් බැණුම් ඇසීමට සිදුවනු නොඅනුමානය. ඒ වාගේම ඔවුන් වෙනත් තැනක් සොයා යනු ඇත.
“මේකේ දෙකෙන් එකක් වෙන්න ඕනෑ… ” ඔහු තමාටම කියා ගත්තේ ළමයින් විත් දොරට තට්ටු කරනවාත් එක්කය.
ඔහු සිය බලාපොරොත්තු අත්හැර දමනවාත් එක්කම දුරකතනය නාද විය. ඉක්බිති ඔහු එහා පැත්තෙන් ආ පණිවිඩය අසාගෙන උන්නේ විශාල සිනහවක් ද මුහුණට නංවමිනි.
“මේක ළමයින්ට හොඳ පණිවිඩයක්… ” ඔහු කීවේය. “ඔව්… ඒකෙන් පේන්නේ කිසිම ප්රශ්නයක් වෙන එකක් නැති පාටයි… ”
තරුණ ළමයි ඉන් පසුව ඔවුන්ගේ යහළුවන් ද කැටුව විත් හිස් බිම් කඩ සුද්ද පවිත්ර කර සෙල්ලම් පිටියක් තැනීමට පටන් ගත්හ.
කාලය ටිකින් ටික ගෙවී ගියේය. මේ වන විට ළමයින්ගේ ප්රියමනාප සමාගමත් සමඟ ගෙවී යන සෑම සැන්දෑ කාලයක්ම සෑම තත්පරයක්ම බයිසිකල් නොපදින සෑම වේලාවකම ළමයි පීටර් මෝසස්ගේ කුඩා නිවහනේ ඉස්තෝප්පුවට විත් ඔහු සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියහ.
“මං පොඩි කාලේ මට මෙහෙම බයිසිකල් තිබුණේ නෑ… ” ඔහු එසේ කීවේ වෙනර් ඔහුගේ බයිසිකලය වේගයෙන් විත් කපා තිබුණ අගල්වලටත් උඩින් පන්නන අයුරු දැක විමතියට පත්වෙමිනි. නිකෝ සහ ග්ලෙන් ඔල්වරසන් දෙමින් සිටියහ.
“මේවා හරි ගණන්… ” එල්ක් කීවේය. “අපේ ගෙවල් ගාව ඉන්න ජිනෝයි ෆ්රැන්සිස්කොයි දෙන්නා මේ දවස්වල බයික් දෙකක් ගන්න පත්තර විකුණනවා… ”
“මගේ මල්ලිලා දෙන්න මේ දවස්වල නත්තලට ලෑස්ති වෙනවා… ” රෝසා කීවාය. “ඒත් ඒක මොකක්ද කියන්න බෑ රහසක්… ”
“මට නම් මෙදා සැරේ නත්තල ගැන කිසි දෙයක් හිතා ගන්න බෑ… ” රිචඩ් කීවේය. “අපේ තාත්තට මේ දවස්වල රස්සාවක් නෑ… ”
“මටත් එහෙමයි…. ” පෝල් කීවේය. “අපටත් සල්ලි නෑ… ”
මේ කතා බහත් එක්ක පීටර් මෝසස් එක දෙයක් තේරුම් ගත්තේය. ඒ මේ මාවතේ විවිධ රටවලින් ආ බොහෝ දෙනකු ජීවත් වන බවයි. වියට්නාමයෙන් බෝට්ටුවකින් ආ ටුවාන් සහ කහී ගැන ද ඔහුට දැන ගන්නට ලැබිණි.
“ඒගොල්ලන් අර චීන රෙස්ටුරන්ට් එක ගාව ඉන්නවා… බැලූ බැල්මටම එයාලා හරි දුප්පත්… ” කේට් කීවාය. “හරියට ඉංග්රීසි කතා කරන්නත් බෑ… ”
පීටර් මෝසස්ගේ හිතට සිතුවිලි පෙළක්ම ගලාගෙන ආවේය.
නත්තලට කලින් දා සිකුරාදාවේ ඔහුගේ ගේ ළඟට සුදු පැහැ වෑන්රියක් ආවේය. එය නික්ම යාමෙන් පසු පීටර් මෝසස් කඩපිලට ගොස් බුරුසුවක් ද තීන්ත ද සමඟ බැනරයක් ද රැගෙන ආවේය. ඉක්බිති හේ ගෙට වැදී දොර වසා ගත්තේය.
පීටර් මෝසස්ගේ ගෙයි ඉස්තෝප්පුවේ තිබුණු විශාල දැන්වීම මුලින්ම දැක්කේ ඩැනීය.
“බලන්න…” ඔහු මහ හඬින් කෑ ගසමින් අනෙක් අයට පෙන්වීය. “බයිසිකල් පදින්න බයිසිකලයත් අපෙන්… නොමිලේ… දැක්කද මේ සීයා කරලා තියෙන දේ…” ඔවුන් දොරට තට්ටු කරද්දී බොසුන් බුරන්නට පටන් ගත්තේය. ඒ එක්කම පීටර් මෝසස් දොර ඇරියේය. “සුබ නත්තලක් වේවා…” ඔහු කීවේය. “එන්න බලන්න…”
ගේ ඇතුළෙහි බොහෝ බඩු මුට්ටු පිරී තිබිණි. ගෙයි පිටුපසින් වූ කාමරයක අලුතෙන්ම ගෙනා පාපැදි හතරක් විය.
“ඕනෑ කෙනකුට පදින්න පුළුවන්…” පීටර් මෝසස් කීවේය. “මේක තමයි දැනට සාප්පුවල තියෙන හොඳම වර්ගයේ බයිසිකලේ…”
“ඒක වෙන්න පුළුවන්…” මිචෙල් කීවේය. “බලන්න මේ සර්පයන්ගේ බඩ වාගේ ටයර් එක… වානේ ෆ්රේම් එක…”
මේ කතාබහ අතරතුර ළමයින් එකිනෙකා පොරකමින් සිටියේ අලුත් බයිසිකල් අතපත ගෑමටය.
“හරි පුදුමයි….” ග්ලෙන් කීවේය. “අපි අනෙක් අයටත් කියමු…”
මීළඟ හැන්දෑ වරුවේදී වෙර්නර් සහ එල්ක්ගේ නිවහනේ ළමයින්ගේ සාකච්ඡාවක් විය.
“එයා මේ නත්තල් කාලේ මොකක් කරයි කියලා ඔයාලා හිතනවාද…?”
“සමහරවිට මොනවත් නැතුව ඇති…”
නත්තල උදාවිය. පීටර් මෝසස් කල් තියාම නගරයට ගියේ තමන්ටත් බොසුන්ටත් වුවමනා අඩුම කුඩුම රැගෙන ඒමටය. නගරයේ හැම දෙනාම ඔහු සිනාමුසුව පිළිගත්හ.
“සුබ නත්තලක් වේවා… මිස්ටර් මෝසස්…” ඔවුහු සුබ පැතූහ. “සුබ නත්තලක්…”
වෙනත් හැම නත්තලකටත් වඩා මෙදා ඔහුට නගරයේ හැම තැනම වාගේ යහළු මිත්රයෝ වූහ.
මුඩු බිම හිස්ව පාළුවට ගොස් තිබිණි. මෝසස් තේ කෝප්පයක් තොල ගාන්නට ලක ලෑස්ති වෙමින් සිටිද්දී බොසුන් ගොරවමින් සිටියේය. හිටි ගමන්ම ඉස්තෝප්පුව දෙසින් පා ගැටුම් හඬක් ඇසෙන්නට විය. ඒත් එක්කම සිහින් ගී රාවයක් ද පැතිර යන්නට විය. පීටර් මෝසස් කිසිදාක මෙවැනි ලස්සන ගීතයක් අසා නොතිබිණි. ඔහු දොර ඇරියේය. වෙනදා ඔහු බලන්නට එන ළමයි රොත්තම වාගේ එහි වූහ.
“සුබ නත්තලක් වේවා… මෝසස් මහත්තයා…” සිංදුව අහවර වෙනවාත් එක්කම රෝසා කීවාය. කැරොල් ගීත කණ්ඩායම පසෙකට විය. ඇගේ සහෝදරයන් දෙදෙනා උස්සාගෙන විත් තිබුණ නත්තල් ගස කුස්සියේ පසෙකට වන්නට තබද්දී සේසසෝ එය වටා රොක් වූහ. තවත් ටික වේලාවකින් එය නොයෙකුත් බඩු බාහිරාදියෙන් වැසී යන්නට විය. නොයෙකුත් සැරසිලි ද එක් වන්නට විය.
“ඔන්න අපි බොසුන්ටත් අලුත් කරපටියක් ගෙනාවා…” රිචඩ් කීවේය.
“ආං අපි එයාට බිස්කට් වගේකුත් අරන් ආවා…” පෝල් කීවේය.
“මේක අද රෑට කන්න…. ” එල්ක් එසේ කීවේ අයිසින්වලින් වැසුණ කේක් පිඟානක් මේසය මත තබමිනි….“අපි මේකට කියන්නේ ස්ටෝලන් කියලයි. ජිනෝයි ෆ්රැන්සිස්කෝයි දෙන්නත් ඔයාට දෙන්න හොඳ රසවත් දෙයක් අරගෙන ආවා.. ” ඉතාලි ළමයි දෙන්නා ඉදිරියට ආවේ ටොෆි පීරිසියක් රැගෙනය. “මේක හැදුවේ අපේ අම්මා… ආමන්ඩ්වලට සීනියි පැණියි දාලා… එයා ඔයාට නත්තලට සුබ පතනවා කියලත් කියන්න කිව්වා… ”
මයික් දොර ළඟට යද්දී ටුආන් සහ කෂී මහලු මිනිසා පැත්තට ගියේ තෑගි දීමට අලංකාර ලන්තෑරුමක් ද අතේ තියාගෙන ලැජ්ජාවෙන් සිනහ සෙමිනි.
“හෙට රෑ අපේ ගෙදර කෑමට එන්න කියලා ආරාධනා කරනවා… ” ග්ලෙන් සහ දෝනා කීහ. “බැඳපු කළුකුම් මස්… ඉඳි පුඩිම්… ඒ වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා… මොනවා හරි වෙන වැඩ නෑ නේද…? අපි දවල් තියාම ඇවිත් එක්ක යන්නම්… ”
“අපි ටිකක් ඉක්මන් කරන්න වෙයි…. ” රෝසා කීවාය. “අද අපේ රෑ කෑමෙන් පස්සේ පල්ලියට යන්න තියෙනවා… ”
“ඇයි අපට…? අපටත් එහෙම තමයි… ” ෆ්රැන්සිස්කෝ කීවේය.
“ඔව්… අපටත් එහෙම තමයි… ” එල්ක් සහ සොපී දෙදෙනාම එක හඬින් කීහ.
පීටර් මෝසස් මේසය අසල තිබූ පුටුවේ වාඩි විය. ඔහු ළමයින් දෙස කාරුණික බැල්මක් හෙළුවේය. මෝසස් ඔවුන්ගේ දෑස් ප්රීතිමත්ව බබළමින් තිබෙනු දුටුවේය. මේ වනවිට ඔහුගේ දෑසේ කඳුළු පිරී තිබිණි.
“ළමයිනේ බොහෝම ස්තූතියි… ” ඔහු බොහෝ මෘදු හඬින් කීවේය. “මගේ ජීවිත කාලෙටම මම දැකපු හොඳම නත්තල මේකයි….”
උපුල් වික්රමනායක