– හෙල්පින් හම්බන්තොට නඩුව කරළියට ආවේ මේ සම්බන්ධවයි
– විදෙස් රටවල්වලින් ලැබුණු ආධාර බොහොමයි
– සුනාමියට මෙරට පුද්ගලයන් 40000ක් පමණ බිලි වුණා
– සුනාමි ප්‍රතිසංස්කරණවලදී අනාවරණය නොවුණු සිදුවීම් තිබෙනවා
මිනිසා සොබාදහමේ නීතියට අවතීර්ණ විය යුතු යැයි කියමනක් පැවතිය ද අද මිනිසා විසින් ම මානව සමාජයේ පැවැත්මට හානිකර වූ බාධකයන් අවම කර ගැනීමට සමත් වී තිබේ. සුනාමි ව්‍යසනය ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවගේ හෘද ස්පන්දනය මොහොතකට වුව නවතා දැමීමට සමත් වුවද එයින් ජාතියක් ලෙස අපගේ නැඟී සිටීම අද්විතීය ය. කඳුළු මතින් නැඟී සිටීමේ ඒ මතකාවර්ජනය සමඟ සුනාමි ව්‍යසනයට විසි වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ. කරුණාතිලක මහතා සමඟ කළ සංවාදයකි මේ.
ලාංකේය ජනතාව අත්විඳි පෙර නොවූ විරූ ස්වාභාවික විපත සුනාමි ව්‍යසනයයි. අදට විසි වසරක් වන සුනාමි මතකාවර්ජනය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
2004 දෙසැම්බර් 26 වැනි දින සිදු වූ සුනාමි විපත ලංකා ඉතිහාසය කඳුළින් තෙත් කළ සිද්ධි දාමයක් බවට කිසිදු තර්කයක් නෑ. මෑත ඉතිහාසයේ ලාංකේය ජනතාවට මුහුණ දීමට සිදු වූ දරුණුතම ස්වාභාවික විපත සුනාමි ඛේදවාචකයයි. මේ වචනය අපේ ශබ්ද කෝෂයට එක් වුණෙත් අහම්බයක් විදිහටයි. කැලණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීමේ සිදුවීමක් සහ සොබාදහමේ දඬුවමින් මිදෙනු වස් කළ බිලි පූජාවක් ගැන වූ බිය සහ සන්ත්‍රාසය එක්කළ කතා පුවත හැර ඒ ගැන වැඩි යමක් ජනතාව දැන සිටියේ නෑ. ඒ කෙසේ වෙතත් ඉතිහාස කතා ප්‍රවෘත්තිය පණ ගන්වා නිර්මාණය වුණු ත්‍රාසජනක සහ අතිශය ශෝචනීය සිද්ධියක් ලෙස සුනාමි ඛේදවාචකය ජනතාවට හැබැහින් අත්විඳීමට සිදු වුණා.
සුනාමි සිදුවීම වඩාත් බියකරු ස්වාභාවික විපතක් බවට ජනතාවට ඒත්තු ගැන්වුණේ එයින් සිදු වූ ජීවිත හා දේපළ හානියෙනුයි. ශ්‍රී ලංකාවට සහ සෙසු රටවල්වලට එයින් සිදු වූ හානිය ගණනය කර තිබුණේ කෙසේද?
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල ගැඹුරු මුහුදේ ඇති වුණු භූකම්පනය රිච්ටර් මාපකයේ 9.1- 9.3ක් ලෙස සටහන් වී තිබුණා. එය අතිශය බිහිසුණු භු කම්පනයක්. එයින් ඇති වුණු සුනාමි රළ මාරාන්තික ස්වභාවයෙන් රටවල් බොහොමයක වෙරළ තීරය ආක්‍රමණය කළා. ශ්‍රී ලංකාවේ නැඟෙනහිර සහ බටහිර වෙරළ දක්වා 1000kmක පමණ ප්‍රමාණයක් දරුණු ලෙස විනාශ කළේ ශ්‍රී ලංකාවේ පුද්ගල ජීවිත 32000ක් පමණ බිලි ගනිමින්. ඒ වගේම නිවාස 1,10000කට බලපෑම් ඇති කරමින් ඉන් 70000ක් සම්පූර්ණයෙන් විනාශයට පත් කළා. එසේම, පවුල් 2,50000කට සිය ජීවිකාව ගෙනයෑමට නොහැකි තත්ත්වයක් ඇති කළා. මෙහි ඍජු බලපෑමට ලක් වුණු ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, මාලදිවයින ආදී රටවල් 14කට සිදු වූ හානිය ගණනය කිරීමේදී පුද්ගලයින් 2,30000ක් මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.
විනාඩි කිහිපයක් තුළ ඇති කළේ අතිමහත් විනාශයක් වුවත් විපතට පත් වූවන් මුදා ගැනීමට දෙස් විදෙස් මානුෂීය මෙහෙයුම අද්විතීයයි. එය අගය කළ යුතු නොවේද?
අනිවාර්යයෙන්ම. සමාජ විද්‍යාවේදී මෙය හඳුන්වන්නේ සමාජ ප්‍රාග්ධනය ලෙසයි. මේ විපත සැලවූ වහාම විපතට පත්වූවන්ට ආරක්ෂාව සැලසීම ඇතුළු සියලුම ආකාරයේ සහන සැලසීමට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පෙළ ගැසීම ඉතාමත් ඉහළින්ම තිබුණා. ජාති, ආගම්, කුල ආදී භේදයක් නැතිව ජනතාවගේ ඒ පෙළගැසීම සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකා ජන සමාජය තුළ ඉතාමත් ඉහළින්ම දක්නට ලැබෙන දෙයක්. රජය ඒ මොහොතේ කිසියම් ආකාරවූ සැලසුම්ගත සුබසාධන වැඩපිළිවෙළක් සකසනතුරු සමාජ ක්‍රියාකාරීන්, ප්‍රජා නායකයන්, ස්වෙච්ඡා සංවිධාන මේ කාර්යය සියතට ගත්තා . ඒ වගේම විදෙස් රටවල්වලින් ලැබුණු මානුෂීය ආධාර මෙතෙකැයි කිව නොහැකියි. ලාංකේය ජනතාවට මෙය පෙර අත්නොවිඳි අත්දැකීමක් නිසා ලොව මිත්‍රශීලි රටවල් පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන පවා අපේ අවශ්‍යතාව හඳුනාගෙන ඒ මොහොතේ ලබාදුන් අත දීම විශිෂ්ටයි.
ශ්‍රී ලංකාව ඇතුළු විපතට පත් රටවල් සඳහා මානුෂීය ආධාර ලෙස අමෙරිකානු ඩොලර් බිලයන 14කට වඩා වැඩි ප්‍රමාණයක් බෙදා දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වඩාත් ප්‍රශ්නකාරී වූ මේ මාතෘකාව ගැන පශ්චාත් සුනාමි පර්යේෂකයෙක් ලෙස ඔබට අනාවරණය වුණු කාරණා මොනවාද?
සුනාමි තත්ත්වයක් පිළිබඳ ශ්‍රී ලංකාවට පූර්ව අත්දැකීම් නොමැති නිසා විපතට පත්වූවන්ට සහන සැලසීමේ දී රජයේ කාර්යභාරය යම් ආකාරයකට කළමනාකරණය කර ගැනීමට යන්ත්‍රණයක් සකසා ගැනීම මුල් අවස්ථාවේ යම් අභියෝගයක් වුණා. මෙය ජන ජීවිතය තුළ ඇතිවුණු දැවැන්ත කඩා වැටීමක් නිසා රජයට වුණත් තනිවම මේ කාර්යයට අවතීරණ වෙන්න බෑ. එහෙත් දේශීය සහ විදේශීය වශයෙන් මහා පරිමාණයෙන් ලැබුණු මූල්‍යමය සම්පත් යම් අවභාවිතයක් වුණු බවට දැවැන්ත කතිකාවක් ඇති වුණා. හෙල්පින් හම්බන්තොට ප්‍රසිද්ධ නඩුව කරළියට ආවේ මෙවැනි සිද්ධියක් සම්බන්ධවයි. එහෙත් නඩුව ක්‍රියාත්මක නොවුණු නිසා රටට අනාවරණය විය යුතුව තිබුණු සිදුවීම් මාලාවක් යටපත් වුණා.
මේ අවභාවිතය සිදු වුණේ කොහොමද?
සුනාමි ප්‍රතිසංස්කරණ සහ මානුෂීය ආධාර විනිවිදභාවයකින් යුතුව භාවිත කිරීමට රජය මැදිහත් වීමටත් පෙර එම මුදල් විවිධ පාර්ශ්ව අතට පත් වුණා. ස්වේච්ඡා සංවිධාන, ප්‍රජා නායකයන්, රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් පුද්ගල පාර්ශ්වයන් අතට ද මේ මුදල් ලැබුණා. ඇතැම් සංවිධාන සද්භාවයෙන්ම මෙම ආධාර විවිධ ව්‍යාපෘති සඳහා යොදවනු ලැබුවත් තවත් ප්‍රමාණයක් දේශපාලනඥයන් සහ පුද්ගලයන්ගේ සාක්කුවලට ගිය බව අනාවරණය වුණා. එය මහා පරිමාණයෙන්ම සිදු වුණා වෙන්න පුළුවන්. සුනාමි ප්‍රතිසංස්කරණවලදී රටට අනාවරණය වුණු සහ නොවුණු සිදුවීම් තිබෙනවා. ඒවා රටට මතු කිරීම එවකට විවිධ හස්තයන් විසින් පාලනය කිරීමක් ද සිදු වුණා. මෙවැනි දෑ නැවත නොවීමට වගා බලා ගැනීමට නම් රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි.
සුනාමියෙන් අවතැන් වුණු ජනතාවට සාධාරණයක් නොවුණු බවට චෝදනා එල්ල වන්නේ මෙවැනි සිදුවීම් නිසාද?
කිරි කළයට ගොම බින්දුවක් වැටුණු විට මුළු කිරි කළයම අපවිත්‍ර වෙනවනේ. අන්න ඒ දෙයයි සිද්ධ වුණේ. එවකට පැවති රජය සූනාමි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොකළා නෙමෙයි. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, නිවාස ව්‍යාපෘතිය, ඉඩම් අයිතිය නැවත තහවුරු කිරීම ජනතාවගේ කායික සහ මානසික සෞඛ්‍යය නැංවීම ඇතුළු සුබසාධන කාර්යයන් රැසක් ක්‍රියාත්මක කළා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපන් ජාත්‍යන්තර සහයෝගිතාව ආදී සංවිධාන විශාල ධනස්කන්ධයක් ආධාර ලෙස ලබා දුන්නා. එහෙත් ලැබුණු දෙස් විදෙස් ආධාර ප්‍රමාණය බලන විට ඊට සරිලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු නොවුණු බව නම් පැහැදිලියි.
සුනාමි ව්‍යසනයෙන් පසු මෙවැනි ස්වාභාවික විපත් අවම කර ගැනීමට පරිපාලන යන්ත්‍රණයේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුණා නේද?
ඔව්. ඇත්තෙන්ම, එය ඉදිරි පියවරක්. සුනාමි විපත අපිට අලුත් අත්දැකීමක් නිසා මෙවැනි දැවැන්ත ජාතික ප්‍රශ්නයක් හමුවේ මුහුණදිය යුතු සක්‍රිය යන්ත්‍රණයක් අප සතුව තිබුණේ නෑ. එහෙත් මේ හිඩැස පිරවීම සඳහා වහාම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබුවා. විශේෂයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදේශීය මට්ටමේ කමිටු ඇති කළා. අදටත් ස්වාභාවික විපත්වලදී මේ රාජ්‍ය යන්ත්‍රණය විශිෂ්ට කාර්ය භාරයක් සිදු කරනවා. සුනාමිය වැනි විපතක් ඇති වීම වළක්වාලීම උගහට කරුණක්. ඒත් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමයි ආපදා කළමනාකරණයේදී විය යුත්තේ. සුනාමි ව්‍යසනයෙන් පසු මේ කාර්ය ඉටු වුණාද?
ලෝකයේ ස්වාභාවික විපත්වලට නිරන්තරයෙන් මුහුණ දෙන රටවල්වලින් අප උගත යුත්තේ මේ කාරණයයි. මේ වන විට ආසියානු කලාපය තුළ රටවල් බොහොමයක් ඒකාබද්ධව සුනාමි වැනි තත්ත්වයන් පිළිබඳ නිරන්තර පර්යේෂණ ක්‍රියාවලියක නිරත වෙනවා. එම තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන වෙනවා වගේම ඉතාමත් ක්ෂණිකව එම තොරතුරු ගලා ගෙන එනවා. අපිත් මේ ජාලය තුළ ඉන්නවා. ඒ වගේම පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් සඳහා වෙනම ජාලයක් සකස් කර තිබෙනවා. ජීවිත හානි වළක්වා ගැනීම පමණක් නොවෙයි. දේපළ හානි සිදු වීමද මේ ආකාරයෙන්ම අවම කර ගැනීමට ජපානය වැනි රටවල් දියුණු විධිමත් වැඩපිළිවෙළක ඉන්නවා. ඒත් අපි දකින්නේ තවදුරටත් ජනතාව ස්වාභාවික විපත් ගැන දැනුම්වත් වීම ප්‍රමාණවත් නොමැති බවයි. ඒ වගේම සුනාමියක දී සිදු විය හැකි ආපදාව අවම කර ගැනීමට වෙරළාරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම ගැන නම් ප්‍රමාණවත් අවධානයක් යොමු වී නෑ. සුනාමි විපත් අවම කර ගැනීමේදී වෙරළ පරිසර පද්ධතිය කියන්නේ දැවැන්ත ආරක්ෂක වළල්ලක්. අදටත් තරු පහේ හෝටල් පවා නිදහස් කළ යුතු වෙරළ පරිසර කලාපය තුළ තිබෙනවා. අවිධිමත් ඉඩම් පරිහරණය ස්වාභාවික විපත්වලට අතවැනීමක්.
ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව තුළ ස්වාභාවික විපත්වලින් ආරක්ෂා වීමේ දැනුම්වත්භාවය ප්‍රමාණවත්ද?
අද වන විට ලෝකයේ දේශගුණික විපර්යාස වැඩි වී තිබෙනවා. මේ නිසා දැනුම්වත් වීම මීට වඩා විය යුතුමයි. අදටත් අපිට විවිධ මාධ්‍ය මඟින් අසන්නට ලැබෙන්නේ මිනිස්සු දැන දැනත් විපත්වලට ලක් වී ජීවිත නැති කර ගන්නා තත්ත්වයක් .අද බහුලව සිදු වන ගංවතුර, නායයාම්වලදී ජීවිත හානි සිදු වන්නේ නොදැනුම්වත් බව සහ නොසැලකිල්ල නිසයි. මේ නිසා ස්වයංවිනයක් නොමැති නම් යම් නීති පද්ධති මාලාවක් හෝ හඳුන්වා දීම සිදු කළ යුතුයි. විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට මේ විෂය ක්ෂේත්‍රය ඇතුළත් කිරීම කාලෝචිත බව අපි අවධාරණය කරනවා.
ස්වාභාවික ව්‍යසනවලින් රටට විය හැකි බලපෑම් අවම කිරීමේ කාර්යභාරය සියතට ගත යුත්තේ කවුරුන්ද?
ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතියේ වැඩි ප්‍රමාණයකට මේ කාර්යය පැවරෙනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභාව, නගර සභාව, පරිසර අමාත්‍යාංශය ආදී සියලු ආයතන තම කාර්යභාරය සැලසුම් සහගතව කරනවා නම් මෙවැනි ආපදාවලින් සිදු වන හානිය අවම කර ගත හැකියි. විශේෂයෙන් නගර සැලසුම්කරණය තවමත් අවිධිමත්. සංවර්ධන ව්‍යාපෘතිවලදී ස්වාභාවික විපත්වලින් සිදු විය හැකි ආපදා වළක්වා ගැනීමේ ආරක්ෂක පද්ධතිය ඉදි කිරීම් ක්‍රියාවලියේ සිටම විය යුත්තක්. ඒ වගේම දියුණු රටවල් සිය ජනතාවට පූර්ව දැනුම්වත් කිරීමේ ක්‍රියාවලිය දියුණු තාක්ෂණය මුසු කරගෙන ඉතා උසස් මට්ටමින් සිදු කරනවා. මුළු ලෝකයම සන්නිවේදන ජාලය සමඟ හැකිළී ඇති නිසා ඕනෑම පණිවුඩයක් ක්ෂණිකව ලබාදිය හැකියි. සුනාමි ඇතුළු ආපදා කළමනාකරණය අද ලෝකයේ සෑම රටක්ම සිය විශිෂ්ටත්වය උරගා පෙන්වන මෙවලමක් කර ගෙන තිබෙනවා. අපි වහා වහා අවතීර්ණ විය යුත්තේ එතැනටයි.