Home » ජනමාධ්‍යකරණයේදී මිනිස් බුද්ධිය අභියෝග රැසකට මුහුණ දෙනවා

ජනමාධ්‍යකරණයේදී මිනිස් බුද්ධිය අභියෝග රැසකට මුහුණ දෙනවා

දකුණු කොරියාවේ සයිබර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එරික් පාරක්

by mahesh
December 26, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

කෘත්‍රිම බුද්ධිය සහ ජනමාධ්‍යකරණයේදී මිනිස් බුද්ධියේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අභියෝග රැසක් පවතින බව දකුණු කොරියාවේ සයිබර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එරික් පාරක් මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කරනු ලබන කොළඹ ජාත්‍යන්තර මාධ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා (19) මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලැබිණි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

ගෝලීය වශයෙන් නව ප්‍රවණතා සමඟ ජනමාධ්‍යයට ආමන්ත්‍රණය කිරීමේදී මිනිස් බුද්ධියේ නිර්මාණකරණයන් තවදුරටත් මිනිස් චින්තනයට දායක කර ගැනීමේ අභියෝගය ජනමාධ්‍යවේදීන්ට පවතිනවා.

එම කාර්යභාරය වඩා සාර්ථක ලෙස වෘත්තීය භාවයෙන් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධිය ඉවහල් කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමසා බැලිය යුතුයි. ජනමාධ්‍ය ආයතන මේ වනවිට වඩාත් සාර්ථක අයුරින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳව කතිකාව ජනමාධ්‍යකරණයේ ඉදිරි ගමන්මඟ කෙරෙහි සිදු කරන සාධනීය බලපෑම කුමක් ද? එහි නූතන ප්‍රවණතා ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය සංස්කෘතියේ දිශානතියට කුමක් සිදු කරනු ලබයි ද යන්න පිළිබඳව ශාස්ත්‍රීයව සහ විශ්ලේෂණාත්මකව අවධානය යොමු කරමින් විද්වතුන් සහ ජනමාධ්‍ය වෘත්තිකයන් ජනමාධ්‍ය පර්යේෂණ පත්‍රිකා මඟින් සිය අදහස් ඉදිරිපත් කිරීම මෙහි දී සිදු කෙරිණි.

ප්‍රධාන සැසි 04ක් යටතේ සාර්ක් කලාපීය රටවල් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන් Zoom තාක්ෂණය ඔස්සේ මෙයට සහභාගී වූහ.

මෙය ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, කොළඹ, කැලණිය, ජයවර්ධනපුර, යාපනය , නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යලයේ ශ්‍රීපාලි මණ්ඩපය ඇතුළු දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාලයන් හි ජනමාධ්‍ය අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධව පැවැත්විණි.

මෙම පර්යේෂණ සැසියේ මෙහෙයුම් මණ්ඩලයේ විද්වතුන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රංජන්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් සහ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කුරන් ගුප්තා, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය බිනා ගාන්ධි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ආචාර්ය මනෝජ් ජිනදාස, කොළඔ විශ්වවිද්‍යලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයනා සුරවීර, ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත්, ප්‍රවීණ විද්‍යා ලේඛක මාධ්‍යවේදී නාලක ගුණවර්ධන, රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් දොඩංගොඩ මහත්ම මහත්මින් කටයුතු කළහ.

මෙහිදී ඩේලිනිවුස් පුවත්පතේ විශේෂාංශ කර්තෘ සචිත්‍ර මහේන්ද්‍ර, ඩේලිනිවුස් ඩිජිටල් අංශයේ මාධ්‍යවේදී නාලක දසනායක ඇතුළු විද්‍යාර්ථීන් රැසක් සිය පර්යේෂණ ලිපි ඉදිරිපත් කර තිබිණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කේ. ජේ. බණ්ඩාර මහතාගේ උපදෙස් මත සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී අබේකෝන් මහතා පිළිගැනීමේ කතාව කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT