Home » මැස්සන් නිසා මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය අවදානමේ

මැස්සන් නිසා මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය අවදානමේ

by mahesh
December 26, 2024 1:00 am 0 comment

මාතලේ මධ්‍යම සමූහ, උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන උකුවෙල විශේෂ එම්.එස්. එම්. මසාහීම්

මාතලේ දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයට යාබද ඉඩමට මහ නගර සභාව විසින් කසළ බැහැර කිරීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකය ශල්‍යාගාර වසා දැමීමේ අවදානමක් පවතින බව මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පෙරේදා (24) වන දින මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යයේදී රැස්වූ අවස්ථාවේදී අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසීය.

“මාතලේ මහ නගර සභාව මඟින් මාතලේ නගරයේ කැළි කසළ රෝහල් පරිසරයට යාබද ඉඩමට ගෙනත් දැමීමෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධය මෙන්ම මැස්සන් රෝහල තුළ පාලනය කර ගැනීමට නොහැකි ලෙස පැතිර තිබේ. මහා රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ දැඩි සත්කාර ඒකකයට හා ශල්‍යාගාර හා වාට්ටු තුළ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවී රෝගීන්ගේ ජීවිත පවා අහිමිවීමේ අවදානමක් පවතින බැවින් මෙම කසළ බැහැර කිරීම නැවැත්වීමට කඩිනමින් පියවර ගත යුතු බවත් එසේ නොවන්නේ නම් දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාර කටයුතු තාවකාලිකව නැවැත්විය යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා මෙම ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවත් මාතලේ නගරයෙන් බැහැර කරනු ලබන කැළිකසළ හා අපද්‍රව්‍ය දඹුල්ල දිගන්පතාන කසළ අංගණය වෙත හෝ රෝහලට යාබද ඉඩමෙහි කසළ බැහැර කිරීම වෙනුවට වෙනත් ස්ථානයක් ඒ සඳහා යොදා ගන්නා ලෙස පැවසීය. මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT