Home » ‘කන්කොටා’ මෙල්ල කර හොරොව්පොතානේ අලි සුරැකුම් මධ්‍යස්ථානයට

‘කන්කොටා’ මෙල්ල කර හොරොව්පොතානේ අලි සුරැකුම් මධ්‍යස්ථානයට

by mahesh
December 26, 2024 1:00 am 0 comment

ගිරාඳුරුකෝට්ටේ සමූහ - සෝමදාස සමරගුණරත්න

ගිරාඳුරුකෝට්ටේ මහවැලි ගම්මාන රැසකටම බරපතළ හානි සිදු කරමින් හැසිරුණු “කන්කොටා” ලෙස හඳුන්වන දඩබ්බර වනඅලියා වනජීවී නිලධාරීන් විසින් ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ භූමියේදී කොටුකර ගනු ලැබූ බව මහියංගණය වනජීවී නිලධාරීහු පැවසූහ.

මෙම මෙහෙයුමට සහභාගිවූ මහියංගණ වනඅලි පාලන ඒකකයේ වනජීවී අඩවි වන ආරක්ෂක නිලධාරි බී.එච්. මංජුල ප්‍රදීප් මහතා පැවසුවේ ගිරාඳුරුකෝට්ටේ මහවැලි ගම්මාන පුරා හැසිරෙමින් ගොඩමඩ වගා හානි, ගෙවල් බිඳීම්, වාහනවලට පහරදීම්, අතුරු පාරවල්වල රැඳී සිටිමින් යන එන්නන්ගේ ජීවිතවලට තර්ජන එල්ලකිරීම් ආදී විවිධ හානි සිදුකරන වනඅලි පිළිබඳව විටින්විට පැමිණිලි ලැබී තිබුණි. ඒ අනුව දිවා රාත්‍රී නොබලා එම වනඅලි පලවා හැරීමේ කටයුතු සිදුකරමින් පැවතුණු අතරවාරයේ දඩබ්බරව හැසිරෙන වනඅලි දෙදෙනකු හඳුනාගත් අතර පළමු පියවර ලෙස මෙම අලි දෙදෙනා කොටුකර ගැනීමට විශේෂ අවධානයක් යොමුකළ බව ඔහු පැවසීය.

ඒ අනුව ඉකුත් 21ක් වැනිදා රාත්‍රියේ මින් එක් අලියකු ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ භූමියට කඩාවැදී වගාහානි සිදුකරන බවට ලැබුණු තොරතුරක් අනුව 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම භූමියට ගොස් විශාල පරිශ්‍රමයක් දරා එම අලියා කොටුකරගෙන තිබේ. මෙල්ල කරගත් අලියා, වාහනයට පටවා ගැනීම සඳහා වළවල් හෑරීමේදී වැසි සමය බැවින් එම වළවල් ජලයෙන් පිරී යාම නිසා ජේ.සී.බී යන්ත්‍ර 03ක් පමණ යොදා ගන්නට සිදුවුණි. මෙල්ලකරගත් කන්කොටා එදින අලුයම් කාලය වනවිට වාහනයට පටවා ගෙන වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ හොරොව්පොතාන අලි සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි. මෙම මෙහෙයුමට වනජීවී අඩවි වන ආරක්ෂක නිලධාරි බී.එච්. මංජුල ප්‍රදීප් හා වනජීවී අඩවි සහකාර ගාමිණී ජයසූරිය යන මහත්වරුන් ද පශු වෛද්‍ය නිලධාරීන් වන අකලංක පිණිදිය හා ධර්මකීර්ති යන පශු වෛද්‍යවරුන් සමඟ විශේෂ වනඅලි මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු ඇතුළු 21 දෙනෙකු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT