Saturday, May 3, 2025
Home » සාමය රැගෙන එන AMAN

සාමය රැගෙන එන AMAN

by mahesh
December 27, 2024 1:00 am 0 comment

චන්දන විජේකෝන්

සාමය යන අරුත ගෙනෙන ‘අමාන් – 25’ (AMAN -25) නම් වූ බහුජාතික නාවික අභ්‍යාසය මෙවරත් පාකිස්ථානයේ කරච්චි මුහුදු (එම මුහුදු සීමාව අරාබි මුහුදු කලාපය ලෙස හැදින් වේ.) කලාපයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම නාවික අභ්‍යාසයට මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාකාරීව සම්බන්ධ වෙයි. විශේෂයෙන් ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාත්මක වන සහ කලාපීය නොවන නාවිකයන් අතර සහයෝගිතාව, අන්තර් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම නාවික අභ්‍යාසයට ශ්‍රී ලංකාව ක්‍රියාකාරි ප්‍රමුඛ දායකත්වයක් ලබා දීම අගය කළ යුතුය.

පාකිස්තානය රජය 2007 වර්ෂයේ මෙම නාවික අභ්‍යාසය ආරම්භ කිරීමත් සමඟ අන්තර්ජාතික සහයෝගිතාව තව තවත් ශක්තිමත් වීමට මඟ පෑදිනි. අප ජීවත්වන දකුණු ආසියානු කලාපයේ පමණක් නොව ඉන් බැහැර කලාපවල සහයෝගිතාව සහ ස්ථාවරත්වය රඳා පවත්වා ගැනීමට මෙම නාවික අභ්‍යාසය උපායමාර්ගිකව වැදගත් වෙයි. මුහුදු කලාප කේන්ද්‍ර කර ගනිමින් සිදුවන මංකොල්ලයන්, ත්‍රස්තවාදීමය ක්‍රියා, සමුද්‍රීය ආධිපත්‍ය සහ අපරාධවලට එරෙහිව එක්සත් පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපායමාර්ග සැකසීම මෙම නාවික අභ්‍යාසයේ අරමුණු අතර ප්‍රධාන වෙයි. එම උපායමාර්ගික එකඟතාව තුළින් සාගරයේ සිදුවන නාවික වෙඩි හුවමාරු හා මංකොල්ලකෑම්වලට එරෙහිව, ඒකාබද්ධ සබ්මැරීන් අභ්‍යාස, සන්නිවේදන උපායන්, ගුවන් ආරක්ෂා ක්‍රම, නාවික උපායමාර්ගික ශිල්පීය සැලසුම් භාවිත කරමින් සාගර කලාපවල ස්ථාවරත්වය ඇති කිරීම මෙම ‘AMAN’ අභ්‍යාසය මඟින් සිදු වෙයි.

AMAN – 09 වැනි ද්විපාර්ශ්වික නාවික අභ්‍යාස 2025 පෙබරවාරි මාසයේ අරාබි මුහුදු කලාප කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පාකිස්තාන නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත. 2007 වර්ෂයේදී ‘AMAN’ නාවික අභ්‍යාසය පළමුවරට පැවැත්වෙන විට රටවල් 28ක නාවික යාත්‍රා ඊට එක්විය. නිරීක්ෂකයන් ලෙස රටවල් 29ක් සහභාගි විය. 2009 දී ‘AMAN’ දෙවැනි නාවික අභ්‍යාසය සඳහා රටවල් 24ක් ද නිරීක්ෂකයන් ලෙස රටවල් 29ක් ද එක්වූ අතර, 2011 පැවැති ‘AMAN’ තුන්වැනි අභ්‍යාසයට රටවල් 28ක් ද නිරීක්ෂකයන් 43ක් ද එක්වීම විශේෂත්වයකි. 2013 පැවැති ‘AMAN’ සිව්වැනි නාවික අභ්‍යාසයට රටවල් 29ක් එක්වූ අතර, නිරීක්ෂකයන් 36ක් එක්වී ඇත. පස්වැනි ‘AMAN’ අභ්‍යාසය 2017දී පැවැති අතර, ඊට රටවල් 34ක නාවික යාත්‍රා සමඟ නිරීක්ෂකයන් 67ක් සහභාගි වී තිබේ. 2019 පැවැති හය වැනි ‘AMAN’ නාවික අභ්‍යාසයට රටවල් 46ක නාවික යාත්‍රා සමඟ නිරීක්ෂකයන් 113ක් සහභාගි වී ඇත. ක්‍රමයෙන් එම සහභාගිත්වය වැඩි වූ අතර රුසියාව, අමෙරිකාව, චීනය, ප්‍රංශය, ජපානය, බ්‍රිතාන්‍ය, තුර්කිය, ඔස්ට්‍රේලියාව ආදී ලොව ප්‍රබල රාජ්‍යයන් සිය අතිනවීන නාවික යාත්‍රා සමඟ‘AMAN’ අභ්‍යාසයට එක්වීම සහ නාවික අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහි සාර්ථකත්වයට සහ අදාළත්වයට හොඳම පිළිතුරක් වන බව කිව යුතුය.

2021 පැවැති AMAN නාවික අභ්‍යාසයට රටවල් 43ක් සහභාගි වූ අතර, 2023 AMAN නාවික අභ්‍යාසයට රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ‘ගජබාහු’ නමැති ප්‍රහාරක නෞකාව මෙම අභ්‍යාසයට එක් විය. තවද ‘ගජබාහු’ නෞකාව අධිකාරි බලය ලැබීමෙන් පසු පළමු විදේශ ගමන සනිටුහන් කළේ ‘AMAN-21’ අභ්‍යාසයට එක්වෙමින් වීම විශේෂත්වයකි. ලෝකයේ දියුණු යැයි සැලකෙන නාවික යාත්‍රා සමඟ කරට කර සිටිමින් ‘ගජබාහු’ ප්‍රහාරක නෞකාව සහ එහි නැවියන් අරාබි මුහුදේ දැක්වූ උපායමාර්ගික සහ ශිල්පීය නිපුණතාවයන් අභ්‍යාසයට සහභාගි වූ නාවිකයන් මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයන් මවිතයට පත්කළ බව කිව යුතු කරුණකි.

ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුව ද එහි නාවික හමුදාව ලබා ඇති නිපුණතා හා අත්දැකීම් අති විශාලය. විශේෂයෙන් වසර 30කට වැඩි කාලයක් පැවැති LTTE ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමටත්, මුහුදේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව ගොඩබිමින් සහ මුහුදෙන් කළ ක්‍රියාන්විතයන්වල අත්දැකීම් සහ උපායමාර්ගික සැලසුම් මෙම අභ්‍යාසයට සහභාගි වූ නාවික හමුදා සමඟ හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීම විශේෂත්වයකි.

‘AMAN’ සංකල්පය, සමුද්‍රීය ආරක්ෂාව වටා භ්‍රමණය වෙනවා පමණක් නොව, නාවික රාජ්‍යතාන්ත්‍රිකභාවයක් (Naval Diplomacy) ඇති කිරීමට දායකත්වය සපයයි. නාවික බලය වඩාත් නම්‍යශීලී ගුණාංගවලින් පෝෂණය විය යුත්තේ මේ රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉදිරියට ගෙන යෑම සඳහාය. මෙනයින් බලනවිට AMAN අභ්‍යාසය යනු, නාවික රාජ්‍යතාන්ත්‍රිකභාවය පවත්වා ගැනීම අරඹයා අතිශයින්ම වැදගත් මෙහෙයක් ඉටුකරන ගාමක බලවේගයක් යැයි හඳුනා දීම ඉතාම කාලෝචිතය. විශේෂයෙන් පාකිස්තානයේ විදේශ ප්‍රතිපත්තියේ පරමාර්ථය ද ඉන් ප්‍රකාශවීම කැපී පෙනෙන තවත් සිද්ධියක් ලෙස හඳුන්වා දීම වැදගත්ය.

අප ජීවත්වන ඉන්දීය සාගර කලාපයේ සිදුවෙමින් ඇති භූ දේශපාලනික, භූ ආර්ථික වෙනස්කම් කලාපීය නාවික හමුදාවන්ට අභියෝගාත්මකය. නිරන්තරයෙන්ම එහි ආරක්ෂිත පරිසරයක් තිබීම කලාපීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් සමුද්‍රීය වෙළෙඳාමට අදාළ වේ.

එමෙන්ම ඉහළ යමින් ඇති අවි සම්බන්ධ ක්‍රියාකාරකම්, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, මුහුදු කොල්ලකෑම් සහ නීති විරෝධී ක්‍රියාවන් අපට මැඩපැවැත්විය හැක්කේ , නාවික රාජ්‍යතාන්ත්‍රිකභාවයක් ඇති කිරීම තුළින් බව කිව යුතු කරුණකි. අද වන විට සාගරය කේන්ද්‍ර කර ගනිමින් සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමට, මැඩපැවැත්වීමට ලොව ප්‍රබල රාජ්‍යයන් පවා අපොහොසත් වී තිබීම ප්‍රකට කරුණකි.

මෙම අභ්‍යාසය මඟින් සමුද්‍රීය ආරක්ෂාව හා ආධිපත්‍ය පිළිබඳ ගැටලු හා විශේෂයෙන් සම්ප්‍රදායික නොවන කාරණා පිළිබඳ ව තනිව ක්‍රියාත්මක වීමට රටකට ඇති නොහැකියාව හමුවේ, එක්ව ක්‍රියා කිරීම පිළිබඳ ඇති වැදගත්කම හා රාජ්‍යතාන්ත්‍රික පාඩම් අපට මැනවින් අද කියා දෙන්නේ AMAN නාවික අභ්‍යාසය බව කිවයුතුය. එසේම කලාපීය වශයෙන් සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටීමේදී හා ක්‍රියා කිරීමේදී පාකිස්තානයේ ධනාත්මක ප්‍රතිරූපය ලොවට දෙන ආදර්ශය මිල කළ නොහැකි බව මෙහිදී කිව යුතු කරුණකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT