Home » ශ්‍රී ලාංකිකයෝ 79කට ඊශ්‍රායල රැකියා වරම්

ශ්‍රී ලාංකිකයෝ 79කට ඊශ්‍රායල රැකියා වරම්

by mahesh
December 27, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලාංකිකයන් 79 දෙනකුට දෙවන වරටත් ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිව තිබේ.

නීත්‍යනුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කරන ලදි.

ඒ අනුව මෙම තරුණයන් 79 දෙනා වෙත මෙම රැකියා අවස්ථා හිමිවූ අතර, මොවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා අතින් මෙම ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලද අතර මේ වනවිට මතභේදයට තුඩුදී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කරදීමෙහිලා මෙම ශ්‍රමිකයන්හට සන්නාම තානාපතිවරුන් වශයෙන් කටයුතු කළ හැකි බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

එබැවින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මවුබිමේ ගරුත්වය ආරක්ෂා වන පරිදි වගකීමෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් වික්‍රමසිංහ මහතා රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම පිරිස හෙට (28) ඊශ්‍රායලය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙන අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා අයදුම් කර ඇති ශ්‍රමිකයන්ට සිය ලිපිගොනුවේ තත්ත්වය ස්වයංව පරීක්ෂා කර ගැනීම සඳහා www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියේ නව ද්වාරයක් ද කාර්යාංශය මඟින් හඳුන්වා දී තිබේ.

මෙම තොරතුරු ලබා ගැනීමට කාර්යාංශ වෙබ් අඩවියට පිවිස “බඳවා ගැනීම්” යටතේ ඇති ඊශ්‍රායලය යන ද්වාරය තෝරාගෙන ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, දුරකතන අංකය සහ අනෙකුත් අදාළ දත්ත ඇතුළත් කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතින අතර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙම සේවාව අවශ්‍යතාව මත ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT