Home » රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු පිළිගන්න බෑ

රාජ්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු පිළිගන්න බෑ

සජබ නිවේදනයක් නිකුත් කරයි

by mahesh
December 27, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතිකව සිදු කරන සියලු මාරු කිරීම් අත්හිටුවන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කරයි.

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරින් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව දක්නට ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරින් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබෙන බව ද එහි දැක්වේ.

පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන්ම සමුපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන්ම ක්ෂේත්‍ර නිලධාරින්ට ද මෙය බලපා ඇති බව වාර්තා වේ. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබා දෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටලුසහගතය.

තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමුපකාර සංගම් ඡන්ද විමසීම් ද පැවැත්වේ. පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ ශීඝ්‍ර ලෙස දේශපාලනීකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබේ. මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වනවා පමණක් නොව එම නිලධාරින්ට ද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙනේ. මේ පිළිබඳ සමගි ජන බලවේගයේ අවධානය යොමුව ඇති අතර එවැනි සිදුවීම් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු කෙරේ. ඒ සඳහා නාමික හෝ නිර්නාමිකව තොරතුරු ලබා දීමට ඕනෑම අයකුට අවස්ථාව සැලසේ.

රාජ්‍ය සේවයේ මරුවීම් සිදුවිය යුත්තක් වන නමුත් එය සැඟවුණු න්‍යායපත්‍රයකට අනුකූලව සිදු වන්නේ නම් එය පිළිබඳ කටයුතු කිරීම විපක්ෂයේ වගකීමකි. එමෙන්ම රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතිකව සිදුකරනු ලබන සියලු මාරු කිරීම් අත්හිටුවන ලෙස අපි ආණ්ඩුවට සහ පළාත් සභා බලධාරින්ට අවධාරණය කරමු යැයි ද එහි වැඩිදුරටත් දක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT