රුපියල් පනස් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනා, විවිධ රස ගන්වන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු ද ඊයේ (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු හලාවත, ජයබිම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ගුවන් මගින් භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි.
මොහු ඊයේ (30) උදෑසන 08.00ට ඩුබායි සිට, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 597 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03ක විවිධ රස ගන්වන ලද Òමැන්චෙස්ටර්’ සහ Òප්ලැටිනම්Ó වර්ගයේ දුම්වැටි 39,800ක් අඩංගු දුම්වැටි කාටූන් 199ක් සඟවා ගෙන සිටියදී, රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් මෙම ව්‍යාපාරිකයා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
කටුනායක – ටී.කේ.ජී. කපිල