Tuesday, May 6, 2025
Home » කුණු වූ ලාග්ගා මසුන්ගෙන් අපවිත්‍ර වන කල්පිටිය

කුණු වූ ලාග්ගා මසුන්ගෙන් අපවිත්‍ර වන කල්පිටිය

by sachintha
December 31, 2024 1:47 am 0 comment

මුහුදින් අල්ලා ආර්ථික වටිනාකම අඩු නිසා යළි මුහුදටම විසි කළ කුණු වූ ලාග්ගා මසුන්ගෙන් අපවිත්‍ර වී කල්පිටිය, කන්දකුලිය සංචාරක බෝට්ටු තොටුපළෙහි දුර්ගන්ධය පැතිරෙමින් තිබේන බවට සංචාරකයින් මෙන්ම අසල්වාසී ජනතාව ද චෝදනා කර සිටිති. මේ නිසා දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම ගම්වාසීන් ද බලවත් අපහසුතාවකට ලක් වූ බවත් මෙවැනි අදූරදර්ශී ක්‍රියා රටට ඩොලර් ගේන කල්පිටියේ සංචාරක කර්මාන්තයට ද බලවත් පහරක් බව ඔවුහු වැඩි දුරටත් චෝදනා කර සිටිති. මෙම මසුන් මුහුදට මුදා හැර තිබුණේ එම ස්ථානයේම පිහිටි ධීවර තොටුපළේ යාත්‍රා මඟිනි.

මෙම ගැටලුව පිළිබඳව පෙරේදා (29) අප හා අදහස් දැක්වීමට ඉදිරිපත් වූයේ, කල්පිටියේ සමස්ත සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති මඩු රාජ් ප්‍රනාන්දු මහතා ය.

‘කල්පිටිය, කන්දකුලිය සංචාරක බෝට්ටු සඳහා නිශ්චිත තොටුපළක් නීත්‍යනුකූලව වෙන්කොට නොමැතිවීම හේතුවෙන් කල්පිටියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් අපමණ අපහසුතාවට පත් වෙනවා. මේ සිදුවීම එහි එක් සිදුවීමක් පමණයි. අපේ ලියාපදිංචි සංචාරක බෝට්ටු 60ක් පමණ තියෙනවා. ධීවර යාත්‍රා 40ක් පමණ තිබෙනවා. මේ නිසා මෙම කර්මාන්ත දෙකටම වෙන වෙනම තොටුපොළ දෙකක්, නීත්‍යනුකූලව ලබාදීම තමයි කළ යුතු දේ නැත්නම් ඉදිරියේ දී තවත් ප්‍රශ්නය ඔඩු දුවාවි. සංචාරක බෝට්ටු නිසා අපේ රටට ඩොලර් ලැබෙනවා. ඊට අමතරව සංචාරක ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වන ජීවී දෙපාර්තමේන්තුවෙන් විශාල මුදලක් උපයනවා. ඒ නිසා අපිට පහසුකම් සැපයීමට, අපි ගැන සොයා බැලීමට එම රාජ්‍ය ආයතනවලට සදාචාරාත්මක යුතුකමක් තියෙනවා.’

අප මේ පිළිබඳව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසුවෙමු. ඒ මහතා ප්‍රකාශ කළේ මෙසේ මාළු පැටවුන් අල්ලා මියගිය මසුන් යළි මුහුදට මුදා හැරීම අපරාධයක් බවය. තමා ඒ පිළිබඳව නීත්‍යනුකූලව ඉදිරියේදී පියවර ගන්නා බවයි.

අනෙක් අතට තොටුපළ දෙකක් වෙනවෙනම පවත්වා ගෙන යෑමට නිසි පරිදි ඉල්ලිම් කළොත් සලකා බැලිය හැකියාවක් පවතින බව ඒ මහතා පවසා සිටියේය.

අප මේ පිළිබඳව කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතාගෙන් විමසුවෙමු. ඒ මහතා ප්‍රකාශ කළේ නිලධාරින් වශයෙන් මෙවැනි ප්‍රශ්න සඳහා කල් මරමින් නොසිට ක්ෂණික මෙන්ම තිරසර විසඳුම් ලබා දිය යුතු බවයි. ඒ අනුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ද එකඟතාව මත අදාළ පාර්ශ්වකරුවන් හා සාකච්ඡාකොට තොටුපළ ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව පැවසීය.

කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතාගෙන් විමසූවෙමු. ඒ මහතා ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය ලේකම්වරයාට විසින් තම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් සඳහා පර්චස් 66.6ක ඉඩමක් වන ජීවී දෙපාතමේන්තුවට පවරා ඇති බවයි. එම ඉඩමට ඉදිරි පස වෙරළ සංචාරක බෝට්ටු සඳහා තොටුපළ ලෙස දැනටමත් වෙන්කර තිබුණ ද එම ස්ථානය ධීවරයින් විසින් තම යාත්‍රා නවතා තැබීමටත් භාවිත කිරීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇති බවයි.

‘අද ධීවරයින්ට ධීවර තොටුපොළ පිළිබඳව ඇති ප්‍රශ්න නිසා ඔවුන් සංචාරක යාත්‍රා තොටුපොළ ආක්‍රමණය කරලා. ධීවරයින් නිශ්චිත ධීවර තොටුපොළකට යොමු කර සංචාරක තොටුපොළ නීත්‍යනුකූලව පවත්වාගෙන යාමට ඇති බාධක ඉවත් කර දීමයි අදාළ ආයතනවලින් සිදු කළ යුත්තේ. අප මේ පිළිබඳව දෙපාර්තමේන්තුවක් වශයෙන් කලක සිටම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දිසා ලේකම්තුමාවද දැනුම්වත් කර තිබෙනවා.’

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT