Sunday, May 11, 2025
Home » දේශයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සවිබලගැන්වීම උපරිමයෙන් සිදු කරනවා

දේශයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සවිබලගැන්වීම උපරිමයෙන් සිදු කරනවා

-ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා

by sachintha
December 31, 2024 1:53 am 0 comment

දේශයේ ආරක්‍ෂාව උදෙසා නූතන ගෝලීය ආරක්‍ෂක අභියෝග හමුවේ සාර්ථකව මුහුණ දියහැකි අයුරින් අපගේ ත්‍රිවිධ හමුදාවන් සවිබලගැන්වීමට හැකි උපරිමයෙන් උත්සාහ ගන්නා බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ පසුගියදා (28) පැවති වර්ණවත් නාවික හමුදා විසිර යෑමේ පෙළපාළියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ද කීවේය.

“අප රටේ ආරක්‍ෂක අංශ සතු මූලික කාර්යභාරය වන දේශයේ ආරක්ෂාව සඳහා පමණක් අපගේ ආරක්‍ෂක හමුදා යොදවන බවට අපි සහතික වෙනවා. අපගේ ත්‍රිවිධ හමුදාවන් සතු මානව සහ භෞතික සම්පත් ප්‍රශස්ත අන්දමින් භාවිත කිරීම, සහතික කිරීම මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සන්නද්ධ හමුදා ව්‍යුහය සමාලෝචනය කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඊට අදාළව ත්‍රිවිධ හමුදා බඳවාගැනීම් ක්‍රියාත්මක කිරීම සහ පිරිස් තෝරාගැනීමේදී ප්‍රමාණාත්මක අවශ්‍යතාවලට වඩා ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

දේශයේ චිරස්ථිතිය උදෙසා සිය උපරිමයෙන් දායකත්වය දැක්වූ සියලු රණවිරුවන්ට උපහාර පුද කරනවා. මෙරට සියලු පුරවැසියන්ට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් ඔවුන් කළ උත්තරීතර කැප කිරීම වෙනුවෙන් සදාකාලිකව රණවිරුවන්ට අපගේ ගෞරවය සහ ස්තූතිය හිමි විය යුතුයි.”

මේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මිය ද සහභාගි වූවාය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා විද්‍යා පීඨයේ පීඨාධිපති කොමදෝරු ආර්. ජෝසප් විසින් ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සාගරික විද්‍යා පීඨයට පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

අනතුරුව චිරාගත නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්‍ෂක ලේකම්වරයා වෙත ගෞරව පිණිස සම්මාන මුරයක් පිරිනමන ලදි. මෙදින පැවති නාවික සාම්ප්‍රදායානුකූල රාත්‍රී විසිර යෑමේ පෙළපාළියේදී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 38 වැනි සහ 39 වැනි කණ්ඩායම්වලට අයත් කැඩෙට් නිලධාරීන් 16 දෙනකු සහ නාවික බඳවාගැනීම් 1/2023 කණ්ඩායමට අයත් කැඩෙට් නිලධාරීහු 13 දෙනකු සිය පාඨමාලා සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව විසිර ගියහ.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් පුහුණු කාලයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැක්වූ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් අභිනව අධිකාරි ලත් නිලධාරීන් කිහිප දෙනකුට සම්මාන පිරිනැමීම ද සිදු කෙරිණි.

මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නැඟෙනහිර නාවික විධානය භාර ආඥාපති, මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයන් සහ විසිර යන නිලධාරීන්ගේ ඥාතීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT