ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය වන්නේ ප්‍රඥාව මුල් කරගත් නව පරපුරක් නිර්මාණයට දායක වීම බව සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනමාධ්‍යවේදය යනු තවත් එක් රැකියාවක් පමණක්ම නොවන බවත් එය ලෝකය සහ ජාතිය වෙනස් කරන රැකියාවක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ Òමුද්‍රිත මාධ්‍ය අත්පොතÓ එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී ඊයේ (30) පෙරවරුවේ පැවැති උත්සවය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා,
“සාරධර්ම, ගුණධර්ම, කරුණාව හා මෛත්‍රිය යන ගුණාංග කවදත් වෙනස් වෙන්නෙ නැහැ. ඒ දේවල් කවදත් එකයි. ජනමාධ්‍යවේදියෙක් වුවත් ඒ කියන සාරධර්ම පද්ධතිය තිබිය යුතුයි. හොඳ මිනිහෙක් වෙන්න, අන්න එතකොට ඔබ ප්‍රාඥයෙක් වෙනවා. හොඳ දැනුමක් තිබෙන ලෝකය දන්න ප්‍රාඥයෙක් වෙන්න ඔබට පුළුවන්. ජනමාධ්‍යකරණය කියලා කියන්නෙ කොළයක් අරන් ලියලා පත්තරේ පළ කරන එක නෙමෙයි. ඒක අකුරු දන්න ඕනෑම කෙනෙකුට කළ හැකියි. කට තියන ඕනෑම කෙනෙකුට කතා කළ හැකියි. ඒ නිසා ඔබ අලුත් ලෝකයක් හදන්න ඕනෙ. ප්‍රඥාවන්තයන්ගෙන් යුතු ලෝකයක්. ප්‍රඥාවන්තයන් හරිම හිඟයි. ඥානවන්තයෝ ඕනෑ තරම් ඉන්නවා, ප්‍රඥාවන්තයො හරිම දුර්වලයි.
ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය වන්නේ ප්‍රඥාව මුල් කරගත් අලුත් පරපුරක් සෑදීමයි. කල්පනා කරලා බලන්න, මම කොහොමද මෙවැනි ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියෙක් වෙන්නෙ කියලා. එහෙම වුණාම ජනමාධ්‍ය කළා කියලා ඔබට දුකක් නැහැ. මුළු ලෝකයේම භාෂාවට අයි.එස්.ඕ. එකෙන් දෙනවා යුනිකෝඩ් කියලා. යම්කිසි භාෂාවකට තිබෙනවා නම් අක්ෂර මාලාවක් ඒවා අයි.එස්.ඕ. එකෙන් කෝඩ් කරනවා. සිංහලයට ඕනෙ වුණාම මට ග්‍රීසියට යන්න වුණා. ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රට තමයි ග්‍රීසිය කියන්නෙ. ග්‍රීක් දේව කතා අනුවත් දෙවිවරුත් තමන්ගේ භාර්යාවන් තෝරා ගත්තේ ග්‍රීක් දූපතෙනුයි. මේක නොලියා බෑනෙ. මම ඒ ගැනත් දිවයින පත්තරේට ලිවුවා. ජනමාධ්‍ය කියන්නෙ ලෝකය වෙනස් කරන්න පුළුවන් විෂයක්. ඔබට පුළුවන් කියලා හිතා ගත්තොත් ඔබට පුළුවන්. ඕනෙ වෙන්න අන්න ඒ අධිෂ්ඨානයයි. ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය එසේ මෙසේ එකක් නෙමෙයි. ඒක තවත් රස්සාවක් නෙමෙයි. ලෝකය සහ ජාතිය වෙනස් කරන රැකියාවක් වෙනවා.” යැයි පැවසීය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා,
Òමේ අවස්ථාවට සහභාගි වන්නැයි දයා ලංකාපුර මහතා මට ආරාධනා කළා. මෙය ඉතා වැදගත් මොහොතක්. විශේෂයෙන්ම ශ්‍රී ලකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය වගේම වර්තමානයේ භාෂා ක්ෂේත්‍රය අර්බුදයකට මුහුණ දී සිටින කාලයක අපි ජීවත් වෙන්නේ. ඒක ශ්‍රී ලංකාවට පමණක් පොදු වන්නේ නැහැ. සමස්ත ලෝකයම එම අර්බුදයට මුහුණ පා සිටිනවා. අපි එක් යුගයක් පසුකර අවසානයි. භාෂාව කේන්ද්‍ර කරගත් රාජ්‍ය කේන්ද්‍රීය යුගය මනුෂ්‍ය වර්ගයා පසුකර අවසන් වෙනවා. මීට අවුරුදු 50,000 – 100,000ක් අතරදී අපි මේ කතා කරන විදියට කතා කරන්න පුළුවන්. නමුත් මීට අවුරුදු 6000 කට පෙර අපි ලිඛිත භාෂාවට ප්‍රවිෂ්ට වුණා. ඊට පස්සේ මීට අවුරුදු 400කට පෙර තමයි පුවත්පත් බිහිවීමත් සමඟ ජනමාධ්‍ය බිහිවන්නේ. ඒ සමඟ භාෂාවේ මහා පරිමාණ වර්ධනයක් ඇති වෙනවා. පුද්ගලිකව අදහස් ප්‍රකාශ කිරීමට වඩා ජනතාව සමඟ කරන ගනුදෙනුවකට යනවා. ඒ අනුව භාෂාවේ තිබුණු ප්‍රමිතීන් වෙනස් වෙන්න පටන් ගන්නවා. භාෂාව හැඩගස්වන්න පටන් ගන්නවා.
පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනී, සමාජ මාධ්‍ය ආදී සියල්ල භාෂාව සමඟ ගනුදෙනු කරනවා. යුගයට ගැළපෙන ප්‍රමිතියට භාෂාව හැසිරවීමට යම්කිසි වගකීමක් තිබෙනවා. නමුත් භාෂාව ඩිජිටල් යුගයට පරිවර්තනය වීමක් සිදුව තිබෙනවා. එළැඹෙන 2025 වර්ෂය විශාල අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන්. පැවැති අභියෝග මෙන්ම නව අභියෝගයන්ට මුහුණ දෙන්න වෙයි. මේ යුගයේදී මාධ්‍යකරුවන් අදහස් සමාජයට ගෙන යා යුතු වෙනවා. ඒ සඳහා හොඳ භාෂාවක් පැවතිය යුතු වෙනවා. නව පරපුරට චින්තනයක් නැහැ. තොරතුරු තිබෙනවා. භාෂාව හකුළුවන විට චින්තනය හැකිළෙනවා. චින්තනය හැකිළෙන විට යථාර්ථය තේරුම් ගැනීමේ හැකියාව අවම වෙනවා. එතනටයි අද අපි වැටී තිබෙන්නේ. ඒ නිසා මෙය අවියක් කරගෙන තිබෙනවා. එය සූක්ෂ්මව තේරුම්ගත යුතු වෙනවා. අපි කළ යුත්තේ අපේ භාෂාව වර්ධනය කරන එකයි. මේ දැවැන්ත ක්‍රියාවලිය තුළ අපි විෂයක් ලෙස පෙනී සිටිය යුතු වෙනවා. අපේ සංස්කෘතිය, ස්වෛරීත්වය, අනන්‍යතාවය අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. අද එවැන්නක් කරන්න පුළුවන් රටවල් තිබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් පමණයි.
චීනය, රුසියාව ඒ සඳහා උදාහරණ ලෙස ගන්න පුළුවන්. වෙන කිසිම රටක් එවැනි ස්වෛරීත්වයක නැහැ. මාධ්‍යකරුවා මෙතැනදී වැදගත් භූමිකාවක ඉන්නවා. මේ තත්ත්වය මිනිසුන්ට අවබෝධ කරදිය යුතු වෙනවා. එය මිනිසුන්ට තේරුම් ගත හැකි ආකාරයෙන් පැහැදිලි කරදිය යුතු වෙනවා. සරල තොරතුරු පමණක් දෙන එකේ තේරුමක් නැහැ. අද වන විට අපි ජීවත් වෙන්නේ තොරතුරු සමාජයකයි. තොරතුරු, දැනුම, දත්ත අවශ්‍ය වෙනවා. ඒ වගේම අවබෝධය අවශ්‍ය වෙනවා. නමුත් අද මාධ්‍ය එය දෙන්නේ නැති තරම්. මාධ්‍ය කරන එකම දේ තමයි තොරතුරු සම්පාදනය කිරීම. මිනිසුන්ට දරාගන්න නොහැකි තරමට තොරතුරු ලබා දෙනවා. ඒ අනුව විචක්ෂණ, තීක්ෂණ බුද්ධිය වැඩ කරන්නේ නැතිව යනවා. යන්ත්‍ර බවට පත්වෙනවා. මාධ්‍යයේ කාර්යය තොරතුරුවලින් අවසන් කළ යුතු නැහැ. එය අවසන් කළ යුත්තේ දැනුමෙන්, අවබෝධයෙන් හා ප්‍රඥාවෙනුයි. ඒ නිසා මාධ්‍ය තමයි වැදගත් වන්නෙ. මෙවැනි පොත් පළ වන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා මුද්‍රිත මාධ්‍ය අත්පොත ඉතා වැදගත් තැනක් ගන්නවාÓ යැයි පැවසීය.
මේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ප්‍රණීත් අභයසුන්දර, ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය උපදේශක සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
නෙත්මි පූජනී රත්නායක
ඡායාරූප – නිශ්ශංක විජේරත්න