Wednesday, May 7, 2025
Home » මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරයි කියා හිතන්න අමාරුයි

මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරයි කියා හිතන්න අමාරුයි

-පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන්

by sachintha
December 31, 2024 1:48 am 0 comment

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ජාතික ජන බලවේගයෙන් සිදුවන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

පිටකෝට්ටේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (29) පැවැති මධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවැසීය.

බස්නාහිර පළාතේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ගෙන් මුදල් අය කරමින් උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරිය චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා. මේ චක්‍රලේඛය මධ්‍යම, ඌව, සබරගමුව, දකුණ, වයඹ, උතුරු මැද පළාත්වලට මේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.බස්නාහිර පළාතට මේ චක්‍රලේඛය නිකුත් කළාට පසු ආණ්ඩුවේ ගුරු සංගමයේ නායකයා වර්තමාන නියෝජ්‍ය ඇමැතිවරයා මේ චක්‍රලේඛය අවලංගු කරන්න කටයුතු කර තිබෙනවා. රජය බලය ලබා ගැනීමට පෙර උපකාරක පන්තිවලට විරුද්ධව කතා කළා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව වර්තමාන රජය බලය ලබා ගැනීමට පෙර කතා කළා.

රටේ තිබෙන උපකාරක පන්ති මාෆියාව නැති කළයුතු බවයි ඔවුන් ප්‍රකාශ කළේ. නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළයුතු බව ආණ්ඩුව එදා බලය ලබා ගැනීමට පෙර ප්‍රකාශ කළා. මේ චක්‍රලේඛය නිදහස් අධ්‍යාපනයට බාධාවක් ද?. පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට බාධාවක් ද ?. ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කී දේවල් නොවෙයි දැන් සිදුකරන්නේ කියන කාරණය හොඳින්ම පැහැදිලියි.

ආණ්ඩුව මේ චක්‍රලේඛය ඉවත් කළේ මැතිවරණයේදී ආණ්ඩුවට හිතවත්ව කටයුතු කළ උපකාරක පන්ති ගුරුවරුන්ගේ ආදායම වැඩි කර ගැනීමට. පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරන්න නම්, නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න නම් මේ චක්‍රලේඛය ක්‍රියාත්මක කළ යුතුයි. මේ චක්‍රලේඛය අවලංගු කිරීම හරහා එය හොඳින්ම පැහැදිලි වෙනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ එකඟ වුණු දේවල් ඉදිරියට කරගෙන යෑමට වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාව සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති වූ ඒකාබද්ධ ගිවිසුමේ මේ බව පැහැදිලිව සඳහන් වෙනවා.සාම්පූර් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් එහි සඳහන්.නමුත් ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමට පෙර සාම්පූර් ව්‍යාපෘතියට දැඩි විරෝධයක් දැක්වුවා.ඒ ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් මානුෂීයව බලන ලෙස ඉන්දියාව ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.ඒ ඉල්ලීමට ආණ්ඩුව එකඟතාව පළ කර තිබෙනවායිද පැවැසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT