රුපියල් කෝටි ගණනක් වැය කර ඉදිකළ අගලවත්තේ ප්‍රථම උදාගම වන ‘උතුම්ගම’ ගොඩනැඟිලි, දේපළ දශක හතරක් තිස්සේ විනාශ වෙමින් ජනතා දේපළ හොරු, සල්ලාලයන්, බේබද්දන්ගේ නවාතැනක් බවට පත්ව තිබේ.
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් මහතාගේ ඉල්ලීමට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී නිර්මාණය කළ ලංකාවේ 61 වැනි උදාගම වූයේ අගලවත්තේ උතුම්ගමයි. කෙසේ වෙතත් එහි රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි, දේපළ මේ වන විට විනාශ වෙමින් පවතින බව දැකගත හැකිය. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරේගම, ගුලවිට සහ දොඩම්පාපිටිය යන ගම්මාන තුන එක්කර නිර්මාණය කළ ‘උතුම්ගම’ නිවාස 64කින් සමන්විත විය. 1980 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදා රණසිංහ ප්‍රේමදාස මහතා එවක අගමැතිවරයා ලෙස ජනතා අයිතියට පත්කළ උතුම්ගම ගම්මානයේ පොදු කටයුතු ගොඩනැඟිලි සියල්ල මේ වන විට විනාශ වෙමින් පවතී. විශාල ප්‍රමාණයේ ශ්‍රවණාගාරයක්, පොදු වෙළෙඳ මධ්‍යස්ථානයක්, තැපැල් කාර්යාලයක්, බැංකු ශාඛාවක්, පෙරපාසලක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, පුස්තකාලයක්, ක්‍රීඩාංගණයක් ඇතුළු පොදු ආයතන සියල්ල සඳහා ඉදි කළ ගොඩනැඟිලි මේ වන විට වල් වැදී විනාශ වී තිබේ. කැලෑවට වැසුණු අක්කර තුනක පමණ විශාල භූමි ප්‍රදේශයක ඉදි කළ පොදු සේවා ආයතනවලට අමතරව උතුම්ගම හරහා මතුගම සහ අලුත්ගම ඩිපෝවලින් නව බස් රථ සේවාවක් ද ආරම් කර තිබුණත් ඒ සියල්ල ඉතා කෙටි කලකදී විනාශ වී වර්තමානයේ සියල්ල නටබුන් බවට පත්වෙමින් ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සනත් අධිකාරම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,
අවස්ථා කිහිපයකදී රුපියල් ලක්ෂ 30 – 40ක් වැය කර මෙම ගොඩනැඟිලි අලුත්වැඩියා කළත් කිසිදු ප්‍රයෝජනවත් කටයුත්තකට නොගත් බවයි. පොලිස් ප්‍රජා කමිටු එක්ව කිහිප වරක් ශ්‍රමදානයෙන් මෙම ස්ථානය එළිපෙහෙළි කළත් ඵලක් නොවුණු බවද හෙතෙම සඳහන් කළේය. පරේගම ගම්වාසී කරුණාවතී මහත්මිය කියා සිටියේ, මෙම ගොඩනැඟිලි තවමත් ප්‍රයෝජනයට ගත හැකි බවයි.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ, මෙම ගොඩනැඟිලි හා දේපළ මීට ඉහතදී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට පවරාගෙන ඇති බවයි. වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ලේකම් හා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ බලතල, කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරිමේ නිලධාරිනී ආර්. එල්. රණසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, ඉතා දිගු කලක සිට මෙම ගොඩනැඟිලි ප්‍රයෝජනයකට නොගෙන ඇති බැවින් මේ පිළිබඳ තමන්ට තනි තීරණයක් ගත නොහැකි බවයි. මේ වන විට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පවතින බැවින් ඒ හරහා මේ පිළිබඳ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දී සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.
මීගහතැන්න සමූහ