මහනුවර සිට කටුගස්තොට හරහා පේරාදෙණිය දක්වා දිවෙන (651) මාර්ගයේ මීට වසර ගණනාවකට පෙර මහනුවර උතුරු ඩිපෝව මඟින් ශ්‍රී ලංගම බස්රථ 13ක් පමණ ධාවනය කර තිබුණත්, අද වන විට ධාවනය වන්නේ එක බස්රථයක් පමණක් බවත්, එම බස්රථයත් මහනුවර සිට කටුගස්තොට හරහා හල්ලොලුව හන්දිය දක්වා පමණක් ධාවනය කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.
යටිහලගල සිට හල්ලොලුව හරහා මහනුවර දක්වා ලංගම බස්රථයක් ධාවනය කළ බවත්, එසේ ධාවනය කළ බස්රථයෙන් යටිහලගල, බෝගහකන්ද, දූල්වල, හල්ලොලුව, පල්ලේමුල්ල, ගොහාගොඩ ආදී ප්‍රදේශවල ජනතාවට මහනුවර රෝහලේ සායනවලට හා රෝගීන් බැලීමට යාමට මෙන්ම පිට පළාත්වල සේවය කරන අයවලුන්ට ද විශාල සේවාවක් සිදු වූ බවත් පෙන්වාදෙන ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටියේ මීට වසර හතරකට පමණ පෙර එම බස්රථයේ රියැදුරු විශ්‍රාම යාමෙන් පසු බස්රථය ධාවනය කිරීම ද නවතා ඇති බවයි. එමෙන්ම රාත්‍රී 9.00ට මහනුවර සිට කටුගස්තොට, හල්ලොලුව හරහා යටිහලගල දක්වා ධාවනය වූ බස්රථය ද නවතා ඇති බැවින්, දුර බැහැර පළාත්වල සිට ඉහත කී ගම්මානවලට පැමිණෙන ජනතාවට විශාල මුදලක් ගෙවා ත්‍රිරෝදවලින් තම ගම්බිම් කරා යාමට සිදුව තිබේ.
මේ සම්බන්ධව ප්‍රදේශවාසීන් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දැනුම්වත් කර ඇති අතර එහිදී අමාත්‍යවරයා ද පවසා ඇත්තේ, බොහෝ මාර්ගයන්හි මගීන් අඩුවෙන් සිටින අවස්ථාවල බස්රථ ධාවනය නොවන බවත්, එම ක්‍රමවේදය වෙනස් කිරීමට පියවර ගන්නා බවත්, විශේෂයෙන්ම 651 මාර්ගයේ අලුයම 5.00ට හා රාත්‍රී 9.00ට ලංගම බස්රථයක් ධාවනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත් ය.
කටුගස්තොට සමූහ – එස්.ජී. විජේරත්න