Home » යුද හමුදාව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ දමයි

යුද හමුදාව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඉහළ දමයි

by chanaka
January 2, 2025 3:25 pm 0 comment

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගො මහතාආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී තිබේ.

2024 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අවස්ථා 370කදී පුද්ගලයින් 451 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 3570කට ආසන්න ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1040කට ආසන්න ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම්61කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇතැයි සදහන් වේ.

ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍යයද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍යය සමඟින් සැකකරුවන් 451 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දී ඇත.

එසේම නීති විරෝධී දේශීය මත්පැන් ලීටර් 850 කට ආසන්න ප්‍රමාණයක් සහ ගෝඩා ලීටර් 15000කට ආසන්න ප්‍රමාණයක් ද , විදේශීය මත්පැත් බෝතල් 68ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දී තිබේ.

මීට අමතරව නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 7340කට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.

තවද 2024 වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රැස්කළ බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී කොටහේන, මාලිගාවත්ත, කොල්ලුපිටිය, මීගමුව සහ වේල්ලවීදිය යන ප්‍රදේශවලදී නීතිවිරෝධී දුම්වැටි 170,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත. එසේම යාල රක්ෂිතය, උඩවලව ප්‍රදේශවලදී ගංජා කිලෝග්‍රෑම් 3459කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා පැල 440,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමටත් ක්‍රියාකර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශාල වශයෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇත.

දිලංක ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT