Home » සීනි කරිඤ්ඤං අල්ලන්න ගිය පුපුරැස්ස පොලිස් ලොක්කා ත්‍රිරෝද රථයක හප්පා මරන්න හදලා

සීනි කරිඤ්ඤං අල්ලන්න ගිය පුපුරැස්ස පොලිස් ලොක්කා ත්‍රිරෝද රථයක හප්පා මරන්න හදලා

by sachintha
January 2, 2025 1:15 am 0 comment

නව වසරේ උදාවත් සමඟ බෙදා හැරීමට සීනි කරිඤ්ඤං පෙරමින් සිටි කසිප්පු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝ රන්ජන් මහතා ත්‍රිරෝද රථයකට යට කර ඝාතනය කිරීමට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ත්‍රිරෝද රථයට යට කිරීමෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ගම්පොළ පන්විලතැන්න ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවකු විසින් කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් සීනි කරිඤ්ඤං සකස් කොට බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටින බව පොලීසිය සඳහන් කරයි.

මීට පෙර අවස්ථා හතරකදී මෙම ජාවාරම වැටලීමට ගිය ගම්පොළ හා පුපුරැස්ස පොලිස් ස්ථානවල සේවයේ නිරත නිලධාරීන්ට පහර දී පොලිස් ජීප් රථයකට ද හානි කළ අයකු බවද පොලීසිය කියයි.

ඒ සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ නඩුවක් ද තිබියදී මොහු මෙම ජාවාරම අතනොහැර සිදුකරමින් සිටින බවද පොලීසිය සදහන් කරයි.

මොහුගේ සහෝදරයන්ද කාලයක් තිස්සේ මෙම සීනි කරිඤ්ඤං අලෙවියේ නිරත වන බවද පොලීසිය සඳහන් කරයි.

වරක් මොහුගේ සීනි කරිඤ්ඤං වැටලීමට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ දරුණු ගණයේ රොට් වයලර් වර්ගයේ බල්ලෙක් පොලීසිය වෙත උසිගන්වා තිබුණි. ඒම අවස්ථාවේදී වෙඩි තැබීමක්ද සිදුව තිබුණි.

නව වසරේ බෙදා හැරීමට මෙම ජාවාරම්කරු සීනි කරිඤ්ඤං පෙරමින් සිටින බවට පෙරේදා (31) රාත්‍රී කාලයේ ලැබුණ තොරතුරකට අනුව පුපුරැස්ස පොලිස් ස්ථානාපතිවරයා ඇතුළු නිලධාරීන් හය දෙනකු එම ජාවාරම සිදු කරන ස්ථානයේ සැඟවී සිට ඇත. ‘නිලමේ’ නමැති මෙම සැකකරු ඔහුගේ පුතකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ බෝතල් විස්ස බැගින් වූ කෑන් තුනක් ත්‍රිරෝද රථයකට පනවන අයුරු එහිදී පොලිස් කණ්ඩායමට නිරීක්ෂණය වී තිබේ.

පොලීසිය ඒ සමගම සැඟවී සිටි තැනින් එම ස්ථානයට කඩා පනින විට සැකකරු මාර්ගයෙන් පහළට පැන දිව ගොස් ඇත.

ඒ සමඟ ත්‍රිරෝද රථයේ රියැදුරු අසුනේ සිටි සැකකරුගේ පුතා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාව එම ත්‍රිරෝද රථයෙන් හප්පා තිබේ. එහිදී තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මාර්ගයෙන් ඉවතට පැන සිය ජීවිතය බේරාගෙන ඇත.

ඒ සමගම ත්‍රිරෝද රථය රැගෙන සැකකරුගේ පුතා පලාගොස් ඇති අතර සැකකරුද සීනි කරිඤ්ඤං කෑන් දමා අඳුරේම පලාගොස් තිබුණි.

මෙහිදී සෙසු පොලිස් නිලධාරීන් පැමිණ වෙනත් ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානාධිපතිවරයා ගම්පොළ රෝහලට රැගෙන ගොස් ඇතුළත් කර ඇත.

සැකකාර පියා හා පුතා මේ වන විට සැඟවී ඇති අතර ගම්පොළ හා පුපුරැස්ස පොලිස් ස්ථාන මඟින් පොලිස් කණ්ඩායම් යොදවා ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT