ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතු බංගලාවේ ගංජා පැළ කිහිපයක් තිබී හමුවීමක් මුල්කරගෙන එහි සහකාර වතු අධිකාරිවරයා ඊයේ (01) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ආගරපතන පොලීසිය පවසයි.
එම සහකාර වතු අධිකාරිවරයා ඔහුගේ නිල වතු බංගලාවේ පාත්තියක් සකස් කර ආවරණය කර ගංජා පැළ රෝපණය කර තිබූ බවත්, එසේ රෝපණය කර තිබූ ගංජා පැළ අඩි දෙකක් පමණ උසට වැවී තිබෙන බවත් පොලීසිය කියයි. ලද තොරතුරකට අනුව වැටලීමක් කර සහකාර වතු අධිකාරිවරයාව සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි. සැකකරු විසින් ගංජා පැළ 11ක් වගා කරනු ලැබ තිබූ බවත්, එම පැළ සියල්ල පොලිස් භාරයට ගත් බවත් පොලීසිය කියයි. සැකකරු අද (02) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. ආගරපතන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
හැටන් – රංජිත් රාජපක්ෂ