බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළ දී ගල් පැටවූ ටිපර් රථයකින් බිමට වැටී එහි රියැදුරු මිය ගොස් ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල හියාරේ, කදුරු ගස්හේන පදිංචිව සිටි එම්.එච්. සුජීව නමැති 53 හැවිරිදි තිදරු පියකි.
මියගිය රියැදුරු ඔහු පදවන ලද ටිපර් රථය ගල් මෝල කරා රැගෙන ඒමෙන් අනතුරුව මඳ වේලාවකදී ගල් පටවා නිමකර ඇතැයි පොලීසිය කියයි.
අනතුරුව මියගිය රියැදුරු ගල් තොගය ආවරණය වන ටෙන්ට් රෙද්ද යෙදීම සඳහා ටිපරය මතට නැඟ එහි පිටුපසට වන්නට අවසන් කොටස එලමින් සිටිය දී එකවරම උඩුබැලි අතට බිමට වැටී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ගල් මෝලේ සේවකයන් තුවාල ලද පුද්ගලයාව හොරණ මූලික රෝහලට යොමු කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි රෝහල් ප්රකාශකයකු පැවසීය.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් මහේෂ් මහතා පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ