Home » උතුරු මැද වාර විභාග ප්‍රශ්න WhatsAPP සමූහවල

උතුරු මැද වාර විභාග ප්‍රශ්න WhatsAPP සමූහවල

-ලංකා ගුරු සේවා සංගමය

by sachintha
January 2, 2025 1:15 am 0 comment

ඉදිරි දිනක පැවැත්වීමට නියමිත උතුරුමැද පළාතේ 2024 තුන්වන වාර විභාග ප්‍රශ්න පත්‍ර වට්ස්ඇප් ඔස්සේ හුවමාරුවෙමින් ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමය පවසයි.

අද (02) සිට පාසල් නව වාරය ආරම්භ කිරීමෙන් පසුව තුන්වැනි වාර විභාගය පැවැත්වීමට නියමිතව තිබෙන බව ද අනුරාධපුර දිස්ත්‍රික් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අසේල විජේසිංහ මහතා සඳහන් කළේය.

මේ වන විටත් හයවන ශ්‍රේණියේ භූගෝල විද්‍යාව ඇතුළු ප්‍රශ්න පත්‍ර කිහිපයක් සහ පිළිතුරු පත්‍ර වට්ස්ඇප් (WhatsApp) සමූහයේ හුවමාරු වන බව ද ඒ මහතා පැවසීය.

වාර විභාග සම්බන්ධයෙන් උතුරුමැද පළාත තුළ ඉතා ශෝචනීය තත්ත්වයක් ක්‍රියාත්මක වන බව සඳහන් කරන ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් අසේල විජේසිංහ මහතා දිගින් දිගටම උතුරුමැද පළාතේ විභාග සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙන බව ද පැවසීය.

පසුගිය කාලය තුළ බලධාරීන්ට පැහැදිලිවම පෙන්වා දුන් කරුණක් වූයේ පසුගිය වසරවල වෙනත් පළාත්වල ප්‍රශ්න පත්‍ර මේ පළාතට ගෙන පළාත් අධ්‍යාපන බලධාරීන් මුද්‍රණය කර ලබා දීම වැනි බරපතළ සිද්ධීන් සිදු වූ බව ද අසේල විජේසිංහ මහතා අවධාරණය කළේය.

එහෙත් බලධාරීන් ඒ පිළිබඳව තැකීමක් නොකළ අතර එහි ප්‍ර‍තිඵලයක් ලෙසින් දිගින් දිගටම විභාග සම්බන්ධයෙන් පළාත තුළ තිබෙන තත්ත්වය ඛේදනීය වූ එකක් බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මේ බරපතළ අර්බුදයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් වහාම මේ සම්බන්ධයෙන් බලධාරීන් නිසි විසඳුමක් ලබා දිය යුතු බවට සහ වහාම පරීක්ෂණයක් කළ යුතු බවට විජේසිංහ මහතා සඳහන් කළේය.

අනුරාධපුර සංචාරක – බී.ජී. චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT