Wednesday, May 7, 2025
Home » පොදු පෙරමුණේ හිටපු පළාත් මන්ත්‍රීට අයත් නිවෙස්වලින් කොටස් එකලස් කර හැදූ බව කියන ජීප් 3ක් සොයා ගනී

පොදු පෙරමුණේ හිටපු පළාත් මන්ත්‍රීට අයත් නිවෙස්වලින් කොටස් එකලස් කර හැදූ බව කියන ජීප් 3ක් සොයා ගනී

by sachintha
January 2, 2025 1:21 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා පරිහරණය කළ බව කියන කොටස් එකලස් කරන ලද රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනාකමක් ඇති ජිප් රථ තුනක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් ඊයේ (01) සොයාගෙන තිබේ.

නීති විරෝධී ලෙස කොටස් එකලස් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පවා නොමග යවමින් හොර පාරෙන් ලියාපදිංචි කර ඇති රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා හමුදා වාහනයකට සමාන සුඛෝපභෝගී ජිප් රථයක් පානදුර පින්වත්තේ පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ ඇති බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී පළමු ජිප් රථය සොයා ගෙන ඇත.

එම ජීප් රථය විදේශ රටවල යුධ හමුදාවන් භාවිත කර ඇති එකක් බවට සැකකරන බවත් හොර පාරෙන් එම වාහනය මෙරටට ගෙනවිත් ඇති බව සැකකරන බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සැක කරයි.

මෙම වාහනය පොලිස් භාරයට ගන්නා විට අමල් සිල්වා මහතා නිවෙසේ සිට ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක්ද පොලීසිය ලබා ගෙන ඇත.

මෙම වාහනය පොලීසිය භාරයට ගැනීමත් සමඟ ඔහුට අයත් බව කියන තවත් වාහන දෙකක් ගැන තොරතුරු ලැබී තිබේ. ඒ අනුව පොලිස් කණ්ඩායමක් රත්මලාන දුම්රිය පොළ ප්‍රදේශයේ තිබී එම වාහන දෙකද සොයා ගෙන ඇත. ලෑන්ඩ් රෝවර් වර්ගයේ රුපියල් කෝටි 03ක් පමණ වටිනා එම වාහන දෙක තිබී ඇත්තේ ද අමල් සිල්වා මහතාට අයත් ස්ථානයක බව පොලීසිය සඳහන් කළේය.

මෙම ජිප් රථ තුන රාජ්‍ය ආයතනවලින් ගර්භීත කරන ලද වාහනවල අංක යටතේ ලියාපදිංචි කර ඇති බව පෙනී ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී අමල් සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සතුව තිබූ 2011 වසරේ සොයාගෙන තිබුණු කොටස් එකලස් කළ වාහනය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී පවා හෙළිව තිබුණේ ද එම වාහනය අමල් සිල්වා මහතා සතුව තිබුණු එකක් බවය. එදා එම වැටලීම කර මිට්ෂුබිෂි පැජරෝ වර්ගයේ වාහනය සොයා ගන්නේ මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස සේවයේ නිරතව සිටි වර්තමානයේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතාය.

අමල් සිල්වාට අයත් බව කියන මෙම වාහන තුන පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙසිනි.

ගයාන් කුමාර වීරසිංහ සහ හල්තොට – විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT