Home » නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වෙන දිනය මෙන්න

නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වෙන දිනය මෙන්න

by chanaka
January 2, 2025 4:37 pm 0 comment

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.31 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ජනවාරි 7 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන් කර ඇත. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 10.30 සිට ‍ප.ව 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

ජනවාරි 8 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.00 පෙ.ව 10.30 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර ඇත.

ඉන්පසු ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇත.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ජනවාරි 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන් කර අැත. ඉන්පසු ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන පෙ.ව 10.30 සිට පෙ.ව 11.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටද මෙහිදී එකඟත්වය පළවී තිබේ.

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා ජනවාරි 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, එච්.නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීමේ විවාදය එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව චමින්ද කුලරත්න මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT