Home » ලොව සලිත කළ නොස්ට්‍රඩමස්ගේ සහ බාබා වැන්ගාගේ අනාවැකි

ලොව සලිත කළ නොස්ට්‍රඩමස්ගේ සහ බාබා වැන්ගාගේ අනාවැකි

by mahesh
January 3, 2025 1:02 am 0 comment

ෆවුස් මොහොමඩ්

සෑම නව වසරක් උදාවෙද්දීම ලොව පුරා මාධ්‍ය අතර වැඩි කතාබහට ලක්වන්නේ නොස්ට්‍රඩමස්ගේ සහ බාබා වැන්ගාගේ ලොව සලිත කළ අනාවැකි ගොන්න ය. 16 වැනි සියවසේ ප්‍රංශයේ විසූ නොස්ට්‍රඩමස් සහ විසිවැනි සියවසේ බල්ගේරියාවේ විසූ බාබා වැන්ගා අනාගතයේ විවිධ කාලපරාසයන්හි සිදු වනු ඇතැයි එවකට පළ කළ අනාවැකි කෙරෙහි ලෝක ප්‍රජාව වැඩි උනන්දුවක් දක්වනු ලබන්නේ ඒවායින් වැඩි ප්‍රමාණයක් එලෙසින්ම සිදු වූ බැවිනි. 17 වැනි සියවසේ ලන්ඩනයේ ඇති වූ මහා ගින්න ගැනත්, විසිවැනි සියවසේ හිට්ලර්ගේ නැඟී සිටීම ගැනත් නොස්ට්‍රඩමස් අනාවැකි පළ කළේ 16 වැනි සියවසේදීය. සෝවියට් දේශයේ බිඳ වැටීම ගැනත්, ඉන් පසුකාලීනව එම කලාපයේම රුසියාව කේන්ද්‍ර කරමින් යුද ගැටුම් සිදුවීම ගැනත් පළ කළ අනාවැකිය රුසියානු – යුක්රේන යුද ගැටුම්වලින් සැබෑවක් බවට පත් වී තිබේ. ඔහු විසින් එවකට වරින් වර පළ කළ අනාවැකි එකතුව පසුකාලීනව Les Prophéties නමින් මහා අනාවැකි පොතක් බවට පත්විය.

සැබැවින්ම අනාවැකි සහ පේන කියන පුද්ගලයන් ගැන ඉතිහාසය පුරා සඳහන් වී තිබේ. රුසියාවේ දෙවැනි නිකලස් ට්සාර් රජුගේ පාලන කාලයේ සිටි ගුප්ත පූජකයා රස්පුටින්ගේ සිට අසූව දශකයේ ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ කාලයේ අමෙරිකාවේ සිටි ජොආන් ක්විග්ලි දක්වා අනාගතය ගැන පේන කියන විවිධාකාරයේ ඉන්ද්‍රජාලිකයෝ අපමණ වූහ. එහෙත් ඒ අතුරින් නොස්ට්‍රඩමස්ගේ අනාවැකි සඳහා වැඩි අවධානයක් යොමුවූයේ ඉන් වැඩි ප්‍රමාණයක් සැබෑවීම පමණක් නොව ඒවා අතිශයින්ම විස්මිත හා භීතිය දනවනසුලු වීම නිසාය. එනිසාම එවකට ප්‍රංශයේ ජනතාව සිතුවේ නොස්ට්‍රඩමස් යනු යක්ෂයාගේ සේවකයකු බවය. එහෙත් එවකට ප්‍රංශයේ සිටි දෙවැනි හෙන්රි රජුගේ බිසොව කැතරින් ඩි මෙඩිසි නම් ඔහු කෙරෙහි අතිශයින්ම පැහැදී සිටියේ රුසියාවේ ට්සාර් රජුගේ බිරිය රස්පුටින්ට වහ වැටී සිටි ආකාරයටමය. ඇය ඔහු දුටුවේ එල්ල විය හැකි අනාගත තර්ජනවලින් රජ පවුල මුදා ගැනීමට පැමිණි දේවදූතයකු හැටියටය. ඉන් නොනැවතී ඇය නොස්ට්‍රඩමස් රජ මාලිගාවට ගෙන්වා සිය පුත් කුමාරවරුන්ගේ කේන්දර පවා සකස් කර ගත්තාය.

විස්මයජනක කාන්තාව

වසර 1566 දී නොස්ට්‍රඩමස් මියගිය අතර, බාබා වැන්ගා උපන්නේ ඊට වසර 345කට පසුවය. ළමා වියේදී දෑස් අන්ධ වූ මේ විස්මයජනක කාන්තාව විවිධ අවස්ථාවලදී පළ කළ අනාවැකි වසර 5079 තරම් ඈතට විහිදී ගොස් තිබිණි. 1986 අප්‍රේල් මාසයේ අගභාගයේ යුක්රේනයේ චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ මහා පිපිරීම ගැන හරියටම අනාවැකි පළ කළ බාබා වැන්ගා වසර 1996 දී මෙලොවින් සමුගත් අතර, 1997 වසරේදී ඩයනා කුමරියගේ අකල් මරණය ගැන අනාවැකි පළ කළේ වසර ගණනාවකට පෙරය. නිව්යෝර්ක් නුවර සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය ගැනත් බාබා වැන්ගා නිවැරැදි අනාවැකි පළ කර තිබිණි. දෙවැනි ලෝක මහා යුද්ධය ගැන මුලින්ම අනාවැකි පළ කරනු ලැබුවේ ද ඇය විසින් බව සඳහන් වේ. එවකට බල්ගේරියා කොමියුනිස්ට් රාජ්‍යයේ නායකයන් නිතර නිතර ඒ ගැන විමසීමට ඇගේ නිවෙසේ කරක් ගැසූ බවට ද තොරතුරු පළ විය. කොමියුනිස්ට් පාලන සමයේ බල්ගේරියාවේ සිටි අවසන් රජ පුරුක වූ තුන්වැනි ට්සාර් බොරිස් රජු ද ඇගේ නිවෙසට පැමිණි බව එවකට රහසක් නොවිය. බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලැබූ වැන්ගේලියාගේ අනාවැකි ගැන ලිඛිත සාක්ෂි කිසිවක් නැති බව ඇගේ නිවෙසේ චාරිකාවට එක් වූ මෙට්රෝ පුවත්පතේ වාර්තාකරු ජෙෆ් යේට්ස් ප්‍රකාශ කර ඇත. එහෙත් ඇගේ අනුගාමිකයන් නිතර නිතර ඇය විසින් සිදු කළ බව කියන යම් යම් ප්‍රකාශ උපුටා දැක්වීමත්, ඒවායේ සැඟවුණු අර්ථ සමඟ පසුකාලීනව ලොව පුරා සිදු වූ විවිධ සිදුවීම් හා සංසන්දනය කර බැලීමේ දී ඒවා දෙවරක් සිතා බැලිය යුතු ආකාරයේ අනාවැකි බව ද ඔහු සඳහන් කර තිබේ.

පුද්ගලයන් 118 දෙනකුට මරු කැඳ වූ රුසියාවේ කර්ස්ක් සබ්මැරීන අනතුර, 1985 උතුරු බල්ගේරියාවේ භූ කම්පනය, ඉන්දිරා ගාන්ධි ඝාතනය පමණක් නොව ශ්‍රී ලංකාවෙත් ජීවිත දහස් ගණනක් මුහුදට ගසා ගෙන ගිය 2004 සුනාමි ව්‍යසනය ගැනත් වන්ගා අනාවැකි පළ කර ඇත්තේ සිය මරණයට වසර කිහිපයකටත් පෙර බව කියැවේ.

යකඩ කුරුල්ලන්ගේ පහරදීම

ඇගේ ඉතිහාස තොරතුරු හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ ඇය විසින් එවැනි අනාවැකි පළ කර ඇත්තේ ඇයටම ආවේණික ප්‍රකාශන ක්‍රමවේදයකට බවය. 1969 දී ඇය ඉන්දිරා ගාන්ධිගේ ඝාතනය ගැන අනාවැකිය පළ කර ඇත්තේ ‘ඇඳුම ඇය විනාශ කරනු ඇත. කහ පැහැති ඇඳුමක් මට පෙනෙනවා. ඉන් ගින්දර හා දුම් නැඟෙනවා‘ යනුවෙනි. ඊට වසර 20කට පසු සිය ආරක්ෂක නිලධාරියකුගේ වෙඩි පහරකින් ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක් වූ අතර, ඒ මොහොතේ ඇය හැඳ සිටියේ කහ පැහැයට හුරු සාරියකි. 1989දී ඇය පළ කළ තවත් අනාවැකියෙන් කියැවුණේ ‘මහා විනාශයක්. යකඩ කුරුල්ලන්ගේ පහරදීමකින් අමෙරිකානු නිවුන් සොහොයුරන් බිඳ ඇද වැටෙනවා.‘ යනුවෙනි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් එකම ආකෘතියකට අනුව ඉදිකළ ලෝක වෙළෙඳපොළේ ගොඩනැඟිලි ද්විත්වය බිමට සමතලා වූයේ අල් කයිඩා ත්‍රස්තවාදීන්ගේ ගුවන්යානා ප්‍රහාරයකිනි. ඇය යකඩ කුරුල්ලන් ලෙස හඳුන්වා ඇත්තේ ගුවන් යානා බවට අනුමාන කෙරිණි.

මේ වසරේදී සිදුවිය හැකි බවට එවකට නොස්ට්‍රඩමස් විසින් බරපතළ අනාවැකි මාලාවක්ම පළ කර ඇති අතර, යුරෝපය පුරා කුරිරු යුද්ධයක් පැතිරීමත්, ඉන් බ්‍රිතාන්‍යයට සැලකිය යුතු බලපෑමක් එල්ල වීමත් ඒ අතර තිබේ. මීට අමතරව විසිවැනි සියවසේ මුල් භාගයේදී ජීවිත මිලියන ගණනාවක් අහිමි කරමින් ස්පාඤ්ඤයෙන් ලොවට පැතිරී ගිය භයානක උණ රෝගය හා සමාන දරුණු වසංගතයක් නැවත පැතිරෙනු ඇතැයි ද නොස්ට්‍රඩමස්ගේ අනාවැකි අතර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ එය පසුගිය කාලයේ ලොවට බලපෑ කොවිඩ් වසංගතයට සමාන හෝ ඊට වඩා දරුණු වසංගතයක් වනු ඇතැයි අනුමාන කරමිනි. සෑම වසරකදී මෙන්ම මේ වසරේදිත් ලොව පුරා රටවල් රැසක අතිශය දරුණු ගංවතුර තත්ත්වයන් සිදුවනු ඇතැයි ද, විශේෂයෙන් බ්‍රසීලයට එහි බලපෑම ඉතා ඛේදනීය වනු ඇතැයි ද නොස්ට්‍රඩමස්ගේ අනාවැකි අතර තිබේ. රුසියාව කේන්ද්‍ර කරමින් පැතිරෙන යුද්ධය ලෙස පළ වූ යුක්රේන යුද අර්බුදය ගැන ඔහුගේ අනාවැකියට අනුව එය අවසන් වන්නේ සාමකාමී විසඳුමකින් නොව අතිශය දරුණු ප්‍රතිවිපාක රැසකින් පසුවය.

පිටසක්වළ යානා

මේ වසරේදී සිදුවනු ඇතැයි පළවූ නොස්ට්‍රඩමස්ගේ අනාවැකි හා සමාන හෙළිදරව්වක් පසුකාලීනව බාබා වැන්ගා ද සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒවා නොස්ට්‍රඩමස්ගේ අනාවැකිවලට වඩා වෙනස් වන්නේ මේ වසරේදී පිටසක්වළ ජීවින්ගේ ආක්‍රමණයක් සිදුවනු ඇතැයි ඇය විසින් අනාවැකි පළ කිරීමය.

සැබැවින්ම පිටසක්වළ ජීවීන් ගැන ලොව පුරා කතාබහට ලක්වන්නේ වසර අසූවකට ආසන්න කාලයක සිටය. පිටසක්වළ ජීවින් පමණක් නොව හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ අවස්ථා ගණනාවකදී ලෝක ප්‍රකට විද්‍යාඥයන් විවිධ පර්යේෂණ හා සොයා ගැනීම් සිදු කර තිබිණි. මින් පෙර කිසිවකු සියැසින් නොදුටු පිටසක්වළ ජීවින්ගේ මළ සිරුරු දෙකක් 2023 වසරේ අගභාගයේදී මෙක්සිකෝවේදී ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමේ සිදුවීමත්, වරින් වර අමෙරිකාවේ විවිධ ප්‍රාන්තවල ඉහළ අහසේ හඳුනා නොගත් ආකාශ වස්තූ පියාසර කරන බවට තොරතුරු පළවීමත් නිසා මේ ආරම්භ වී ඇත්තේ අඩසිය වසක් පුරා හෙළිදරව් නොවූ අබිරහස් සමුදායක්ම ලෝක ප්‍රජාව අතරට පත්වීමට ඉතා ආසන්න කාලයකි. පෙන්ටගනය දශක ගණනාවක සිට පිටසක්වළ ජීවීන් හා හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ රහසිගත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත්, එමෙන්ම පිටසක්වළ යානා හා ජීවින්ගේ මළ සිරුරු අමෙරිකානු රජය සතුව ඇති බවත් මීට වසරකට පමණ පෙර එරට ගුවන් හමුදාවේ සහ බුද්ධි අංශයේ හිටපු නිලධාරියකු ලොව කළඹන හෙළිදරව්වක් ද කර තිබිණි. අමෙරිකානු රජය එවකට එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ ද, අමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් විවාදයකට එක්වන ලෙස ජෝ බයිඩ්න්ට අභියෝග කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති සටනින් බයිඩ්න් පරාජය කිරීමට හැකි පිටසක්වළ ජීවින් සහ හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ගොනු තමා සතුව ඇතැයි ප්‍රකාශ කර තිබිණි. එබැවින් පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණය ගැන බාබා වැන්ගා පළ කළ අනාවැකිය සැහැල්ලුවෙන් ඉවත දැමිය නොහැකි තරම් බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බාබා වැන්ගාගේ අනාවැකි

එපමණක් නොව මේ වසරේදී සිදුවිය හැකි ස්වභාවික විපත් පිළිබඳ ඇගේ අනාවැකි නොස්ට්‍රඩමස්ට වඩා භීතිය දනවනසුලුය. විනාශකාරී යුද්ධයෙන් යුරෝපය උඩුයටිකුරු වන බවට ද බාබා වැන්ගා අනාවැකි පළ කර ඇති අතර, ඒවා මැදපෙරදිගින් පැමිණෙන ආක්‍රමණ බවට ද හඳුන්වා දී තිබේ. එම ආක්‍රමණ ඇය විසින් හඳුන්වා දී ඇත්තේ සිරියාවේ බිඳ වැටීමත් සමඟ බටහිර රටවල් සහ පෙරදිග රටවල් අතර දරුණු යුද්ධයක් හට ගන්නා බවටය. සැබැවින්ම මේ වනවිටත් සිරියාව බිඳ වැටී ඇති අතර, යුද ගැටුම් රැසකට මැදිවී සිටින මැදපෙරදිග කලාපයේ අවතැන් වූ දහස් සංඛ්‍යාත ජනතාව සංක්‍රමණය වීමෙන් යුරෝපයේ දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබේ.

මේ වසරේදී සිදුවනු ඇතැයි බාබා වැන්ගා පළ කර ඇති අනාවැකි අතර කැපී පෙනෙන අනාවැකිය වන්නේ අමෙරිකාව ඇතුළු බටහිර රටවල බිඳ වැටීම සහ රුසියාවේ නැඟී සිටීම ගැන පළ වූ අනාවැකිය බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව බටහිර බලපෑම් යටපත් කරමින් රුසියාව නැඟී සිටින බවට ඇය විසින් එම අනාවැකිය පළ කර ඇත්තේ මීට අඩසිය වසකට පෙර බව ද සඳහන් වේ. ව්‍යසන රැසකින් රුසියාව ආරක්ෂාකාරී වීම පමණක් නොව ලෝක බලවතා ලෙසත් නැඟී සිටින බව ඇය එවකට සඳහන් කර ඇතැයි වාර්තා වේ. ඈත එපිට අනාගතය ගැන අනාවැකි කීමට රුසියන් වූ නොස්ට්‍රඩමස් සහ බාබා වැන්ගා උදාවූ 2025 නව වසරේ සිදුවනු ඇතැයි පළ කර ඇත්තේ එක හා සමාන අනාවැකි සමුදායකි. යථාර්ථය හා මිත්‍යාව අතර දෝලනය වුවද මෙවැනි අනාවැකි කවදත් ලෝක ප්‍රජාව අතර වැඩි කතාබහට ලක්වන්නේ එබැවිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT