චීනයට අයත් හමුදා ගුවන් යානා 23ක් සහ නාවික යාත්‍රා 6ක් සිය මුහුදු කලාපයට අනවසරයෙන් ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුවන් යානා අතුරින් 16ක් ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ එම තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවය.
චීන මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා සහ නාවික යාත්‍රා පසුගිය වසර පුරා අවස්ථා රැසකදී සිය ගුවන් සීමාව සහ මුහුදු සීමාව උල්ලංඝනය කළ බවත්, එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් ජාත්‍යන්තර අප්‍රසාදයට ලක්වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
චීන හමුදාව විසින් සිදු කරනු ලබන එම ක්‍රියාකාරකම් මඟින් තායිවානයේ ස්වෛරීභාවයට සහ කලාපීය සාමයට සෘජු තර්ජනයක් එල්ල වන බව නේටෝ සංවිධානයේ මහලේකම් මාක් රූට් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.