නව වසර උදාවීමෙන් මිනිත්තු 30කට පසුව හොංකොං රාජ්‍යයේ සිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා පියාසර කළ ගුවන් යානයක් වසර 2024 දෙසැම්බර් 31 රාත්‍රි 8.55ට ගොඩ බැසීමෙන් එහි සිටි මගීන්ට දෙවතාවක් නව වසර සැමරීමේ විරල අවස්ථාවක් උදා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ දුර්ලභ අවස්ථාව ගුවන් මගීන්ට ලැබී ඇත්තේ ලොව පුරා විවිධ කලාපවල කාලගණනය එකිනෙකට වෙනස් බැවින් එම කාලරාමුව ඔස්සේ පියාසර කරද්දී ගුවන් යානයේ ගමන් කාලය පැය 12ක් අතීතයට යෑම හේතුවෙන් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සීඑක්ස් 880 අංකය දරන කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් එම ගුවන් යානය පැසිෆික් සාගරයට ඉහළින් කාලරාමු 9ක් තරණය කරමින් ලොස් ඇන්ජලීස් නුවරට ළඟා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
කැතේ පැසිෆික් ගුවන් ගමනට අමතරව තවත් ගුවන් ගමන් වාර 12ක් එවැනි කාලරාමු ඔස්සේ අතීතයට ගමන් කළ බවත්, එහි කෙටිම කාලරාමුව සැමෝවා ගුවන් යානයක් ඇපියා අගනුවර සිට අමෙරිකාවට අයත් සැමෝවා කලාපයේ පාගෝ නුවර බලා පියාසර කිරීම බවත් වාර්තා වේ. එම ගුවන් යානයට ඒ සඳහා ගතවන කාලය මිනිත්තු 35ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.