Home » ගෝඨාභය රටින් පලා යන්නේ මම පිට රට සමුළුවක සිටියදීයි

ගෝඨාභය රටින් පලා යන්නේ මම පිට රට සමුළුවක සිටියදීයි

විශ්‍රාම උලෙළේදි හිටපු යුද හමුදාපති කියයි

by mahesh
January 3, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

රටේ 2022 දී ඇති වූ මහජන කැලඹීම, තම රාජකාරි ජීවිතයේ සැබෑ මිතුරන් හා සතුරන් ප්‍රායෝගිකව හඳුනා ගැනීමට ලැබුණු සංකීර්ණ යාමයක් බව හිටපු යුද හමුදාපති,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් පැවති උත්සවයකදී සඳහන් කළේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඉකුත්දා (31) මේ උත්සවය පැවැත්විණි.

එහිදී නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ රාජ්‍ය යුද හමුදාව යනු බාහිරව හෝ අභ්‍යන්තරව හෝ රාජ්‍යයට සිදු වන උපද්‍රවයකදී ජනතා සුරක්ෂාවට පෙනී සිටින නිල ලත් සන්නද්ධ මිනිස් බළකායට බවය.“2022 අරගල යනු අභ්‍යන්තර ජන නොසන්සුන්තාවකි.එහිදී උද්ඝෝෂකයන් පාලනය කිරීමට හමුදාවට අවම බලය පමණක් භාවිත කිරීමට මම විධාන ලබා දුනිමි.හමුදා වෙඩි උණ්ඩයකින් සාමාන්‍ය අහිංසක වැසියකු මිය යෑම මා නොපැතුවෙමි” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.“නිරායුද ජනතාවට එරෙහිව නිල බලයෙන් උන්මත්තක ජන ඝාතකයකු වීමට මා උත්සුක වූයේ නැත.එහි ප්‍රතිඵලය රට අපායක් නොවීමය.එයට උදාහරණ විදියට රටට ආසන්න රාජ්‍යවල වර්තමානයේ පැන නඟින ජන උද්ඝෝෂණ මර්දනය පිණිස හමුදා ක්‍රියාත්මක වීමේ දුර්විපාක පෙන්වා දිය හැකි යැයි ද එහි දක්වා තිබිණි.

බලලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පාවාදීමේ අශ්ලීල, දුර්ජන පරමාර්ථයක් නොපැවතුණි. විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකු වීමට හෝ පහත් ආශාවල් මට නොවිණි. එලෙස නම් මා එවකට පාලන බලයේ සිටිය රටේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අගමැති උද්ඝෝෂකයන් ග්‍රහණයට ගෙන එතුමා ජීවිත අවදානමක පසුවෙද්දී ගුවන් සංක්‍රමික බළකාය යොදවා මා අගමැතිගේ ජීවිතය සුරක්ෂිතව ගලවා ගන්නේ කුමකට ද?” “දේශපාලකයන්ගේ ගෙවල් ගිනිබත් කිරීමට පැමිණි උද්ඝෝෂකයන් බහුතර පිරිසක් පලවා හැර එකී ගෙවල් බේරා ගන්නේ කුමකට ද? එහෙත් අරගල සමයේ මා සිදු කළ උපායික ක්‍රමෝපාය පිළිබඳ රාජ්‍ය පාලකයන්ගේ කියවීම මට අවාසිසහගත විය යැයිද නිවේදනයේ සඳහන්ය.

“තරු හතරක ජෙනරාල්වරයකුව ලංකා හමුදා ඉතිහාසයේ දෙවන හමුදාපතිව සේවයේ යෙදී සිටිය මා වර්ෂ 2022 මැයි 31 සේවයෙන් විශ්‍රාම ගැනීමට හත් මසක් ඉතුරුව පැවතිය දී බලධරයන් හමුදාපති පදවියෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පදවියට නිල මාරුවක් කළේය. එයින් පසු ආසන්න කාලයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍යයෙන් පලා යෑමට සිදුවන්නේ ද මා හමුදාපති පදවියෙන් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ සිටියදී රාජ්‍ය අවසරය සහිතව විදෙස් රටක පැවති ජාතික ආරක්ෂක සමුළුවකට සහභාගි වී සිටින යාමයක දී යැයි ද එම නිවේදනයේ දක්වා ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා සහ 14 වැනි නිලධාරියා වශයෙන් ගජබා රෙජිමේන්තුවෙන් ගෞරවනීය තනතුරුවලට පත්වූ පළමු නිලධාරියා වීමේ ගෞරවය ඔහු සතුය. තවද ඔහු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ දීර්ඝම කාලයක් සේවය කළ නිලධාරියා ලෙසත්, ත්‍රිවිධ හමුදාවේ වංශ කතාවේ වඩාත්ම ගෞරවනීය නිලධාරියා ලෙසත් පිළිගැනේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT