විගමනික ශ්‍රමික පවුල්වල කුඩා දරුවන් වෙනුවෙන් සෙල්ලම් කාමරයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, විදේශ රැකියා සඳහා යොමු වූ පුද්ගලයන් සම්බන්ධව පැමිණිලි කිරීමට පැමිණෙන විගමනික ශ්‍රමික පවුල්වල කුඩා දරුවන් වෙනුවෙන් කාර්යාංශයේ සමථ අංශය මඟින් Play Room සංකල්පය අනුව වර්ණවත් සෙල්ලම් කාමරයක් නිර්මාණය කර තිබෙන අතර එය එම කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) විවෘත කෙරිණි.
කාර්යාංශයට පැමිණිලි කිරීම සහ පැමිණිලි විභාග කිරීමට බොහෝ අවස්ථාවල මවුපියන් හෝ පවුලේ ඥාතීන් සමඟ කුඩා දරුවන් පැමිණෙන අතර අදාළ කටයුතු අවසන් වනතෙක් දරුවන්ට එම අංශයේ රැඳී සිටීමට සිදුවේ. එවැනි අවස්ථාවලදී දරුවන්ට සිය ළමා මනසට හිතකර අයුරින් ක්‍රියා කිරීමට සෙල්ලම් කිරීමට හා චිත්‍ර ඇඳීමට අවස්ථාව මේ සෙල්ලම් කාමරයේ සලසා ඇති අතර, දරුවන් විසින් අඳින චිත්‍ර මෙහි පුවරුවක ප්‍රදර්ශනය කර පැමිණෙන පුද්ගලයන්ට නැරඹීමට ද කටයුතු සලසා තිබේ.
දරුවන් මෙහි රැඳී සිටින අතරතුර ඔවුන් පිළිබඳව සොයා බැලීමට වෙනම නිලධාරීන් දෙදෙනකු ද පත්කර ඇත. සමථ අංශයේ සේවය කරන නිලධාරීන්ගේ අදහසක් අනුව මේ සෙල්ලම් කාමරය නිර්මාණය කර ඇති අතර එම අංශයට පැමිණෙන දරුවන්ට රස කැවිලි ද ලබාදීමට කටයුතු යොදා තිබේ.
මේ සෙල්ලම් කාමරය විවෘත කිරීමේ අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී. සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි (දේශීය කටයුතු) ප්‍රියන්ත වීරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සමථ) බී.ඒ. රෝහිණී යන මහත්ම මහත්මීන් ඇතුළු සමථ අංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.