Home » 2023දී ලංගමට බස් ගනිද්දී කෝටි 300ක් වැඩිපුර ගෙවලා
සල්ලි දුන්නේ ඇමැතිගේ වාචික උපදෙස් මත

2023දී ලංගමට බස් ගනිද්දී කෝටි 300ක් වැඩිපුර ගෙවලා

විගණනයෙන් හෙළිවේ

by mahesh
January 3, 2025 1:06 am 0 comment

රන්මලී සෝමසිරි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ඉන්දීය ණය නියම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජයට ලැබුණු ණය මුදලින් ඉතිරිව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 20 උපයෝගි කරගෙන ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 500ක් එක් කිරීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අමාත්‍යවරයාගේ වාචික උපදෙස් මත වෙනස් කිරීම නිසා මෙම පාඩුව සිදුව තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු අවුරුදු 15ට වඩා පැරණි බස් රථ මණ්ඩලයේ බස් රථ ඇණියෙන් ඉවත් කිරීමත් මණ්ඩලය පවත්වාගෙන යන නාගරික සේවා අඩාළ වීමකින් තොරව පවත්වාගෙන යෑමත් අරමුණු කර ගනිමින් පිටුපස උස ඇන්ද සහිත ආසන 50-54 (2×2) නව බස් රථ 400 හා පිටුපස උස ඇන්ද සහිත ආසන 32-35 (2×2) බස් රථ 100 වශයෙන් බස් රථ 500ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩලය මඟින් 2018 මැයි 23 වැනි දින දුන් ප්‍රතිපත්තිමය තීරණය මත ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබුණු බව ද විගණන වාර්තාවේ දැක්වේ.

ඒ අනුව අදාළ ප්‍රසම්පාදන ලියවිලි හා තාක්ෂණික පිරිවිතර සකස් කර ලංසු කැඳවීමට අවශ්‍ය සියලු කටයුතු කර තිබියදී, 2020 ජනවාරි 01 වැනි දින එවකට සිටි ප්‍රවාහන අමාත්‍යවරයා විසින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය වෙනස් කර අමාත්‍යවරයාගේ වාචික උපදෙස් මත ආසන 32-36 නව කුඩා බස් රථ 500 හා ආසන 42-45 පිටුපස උස ඇන්ද සහිත නව බස් රථ 100 වශයෙන් බස් රථ 600ක් මිල දී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇත.

කෙසේ වෙතත් පසුව 2023 ජනවාරි 03 වැනි දින දී තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ආසන 32ක් සහිත Ashoke Layland Kynx නව බස් රථ 500 එක් බස් රථයක් USD 26,662.50 බැගින් USD 13,311,250ක මුදලකට Ashoke Layland Limited India වෙතින් මිල දී ගැනීමට තීරණය කර එකී ප්‍රසම්පාදනය පිරිනමා තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.

මෙම බස් රථ සඳහා ගෙවා තිබූ මුළු මුදල රුපියල් මිලියන 5,551ක් වන අතර එක් බස් රථයක වටිනාකම රුපියල් මිලියන 11.02කි. ආසන 32-35 බස් රථයක ඇස්තමේන්තු මිල රුපියල් මිලියන 05ක් බව එහි දැක්වේ.

මේ අනුව ආසන තිස් දෙකේ බස් රථයක් සඳහා ඇස්තමේන්තුගත මිලට වඩා රුපියල් මිලියන 6.02ක් බැගින් රුපියල් මිලියන 3010ක් වැඩිපුර ගෙවා තිබුණු බව විගණන වාර්තාවේ පෙන්වා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT