Home » වැස්ස අඩු වෙයි

වැස්ස අඩු වෙයි

by mahesh
January 3, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න, මැද කොළඹ සමූහ - ආරියරත්න ගනේගොඩ

උතුරු, උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද (03) සිට බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය.

ඉදිරි දින කීපයේ දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවල ද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යයි ද කසුන් පැස්කුවල් මහතා කීය.

(09) බ්‍රහස්පතින්දා පමණ වන විට නැවත ඊසාන දිග මෝසමේ සක්‍රිය තත්ත්වයක් බලාපොරොත්තු වන බව පැවසූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා ඒ පිළිබඳ ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාව දැනුවත් කරන බව ද ඔහු සඳහන් කළේය.

ඉදිරි දින කීපයේදී කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම හරහා කොළඹ දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-55 දක්වා වැඩි විය හැකි යයි ද ඔහු පැවසීය. එම නිසා අදාළ මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ. ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි මුහුදු ප්‍රදේශයේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය මේ වනවිට ක්‍රමයෙන් ඉවත් වෙමින් පවතී.

අද (03) දවසේ උතුරු, නැඟෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. ඉදිරි දිනවලදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් පැවැතිය හැකිය.

පසුගිය දිනවල පැවති වර්ෂාපතනය හේතුවෙන් වාරි ජලාශ කිහිපයක් ඊයේ පස්වරුව වන විටත් වාන් දමමින් පැවතිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT