හදිසියේ ඇති වූ කාලගුණික විපර්යාසයක් හේතුවෙන් මුහුද රළු වීම මත ඉන්දියාව හා කන්කසන්තුරය අතර මගී නැව් සේවාව යළිත් කල් දැමීමට අදාළ බලධාරීන්ට සිදුව ඇති බවට ඊයේ (2) නිවේදනය කොට තිබේ. ඒ අනුව, ජනවාරි මස 2 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා වූ මගී නැව් සේවාව ජනවාරී මස 6 වැනිදා දක්වා කල් දමා ඇත. බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු වායු පීඩන තත්ත්වය හේතුවෙන් යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයකට යළිත් වර්ෂාව හටගැනීම හේතුවෙන් උතුරු මුහුද රළු වී ඇති බව ශිව ගංගී නැව් සමාගම ප්‍රකාශ කර තිබිණි. ඔවුන් පවසන්නේ, මේ වන විට ආසන වෙන් කරවාගෙන ඇති මගීන්ට ජනවාරි 6 වැනිදායින් පසුව ඕනෑම දිනයක් සඳහා එම ප්‍රවේශ පත්‍ර වලංගු වන බැවින් තමන්ට සේවාව අවශ්‍ය දිනය කල්වේලා ඇතිව දැනුම් දෙන ලෙසයි.
මිලදී ගත් ප්‍රවේශ පත්‍ර අවලංගු කොට ආපසු මුදල් ලබා ගැනීමට ද හැකියාව පවතින අතර, ප්‍රවේශ පත්‍ර මිලට ගත් ස්ථානයෙන් හෝ අන්තර්ජාලය හරහා එම කටයුත්ත සිදු කරගත හැකි බවද සමාගම නිවේදනය කොට ඇත.