තම අටමස් ගැබිනි බිරියට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පදවි ශ්‍රී පුර පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පුද්ගලයකු මේ මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.
සැකකරු විසින් පහර දී ඝාතනය කරන ලද බව කියන ගැබිනි කාන්තාවගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් පදවි ශ්‍රී පුර පොලීසියට නියෝග කෙරිණ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ, පදවි ශ්‍රී තිස්සපුර යාය පදිංචි රුවන් චානක විල්වලආරච්චි නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම අඹුසැමි යුවළගේ වැඩිමහල් දරුවා වන දෙවැනි වසරේ ඉගෙනුම ලබන දරුවකු පාසල් අධ්‍යාපන කටයුතු සිදු නොකිරීමේ සිද්ධියක් පදනම් කරගෙන ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් අනතුරුව පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව අධිකරණයට කරුණු දක්වමින් පදවි ශ්‍රී පුර පොලීසිය කියා සිටියේය. පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ, දරුවා පොත් පාඩම් නොකරන බවට චෝදනා කරමින් සැකකාර පියා දරුවාට කිසියම් දඬුවමක් නියම කර ඇති අතර, ඊට උරණ වූ ගැබිනි බිරිය තම සැමියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, මෙම ආරවුලේදී සැමියා බිරියට පහර දීමේදී ඇය බිම ඇද වැටී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන් පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ද කියා සිටියේය.
තම පියා සිය ගැබිනි මවට පහර දෙන අයුරු දුටු දෙවැනි වසරේ ඉගෙනුම ලබන දරුවා ඒ බව අසල්වාසීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව අසල්වාසීන් විසින් පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වන විටත් ඇය මියගොස් සිට තිබේ. පදවි ශ්‍රී පුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක මහතාගේ උපදෙස් මත සැරයන් (33893) ප්‍රසන්න මහතා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීය.