Monday, May 12, 2025
Home » ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවාවන් වඩාත් පුළුල් කිරීමට නව සැලැසමක්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සේවාවන් වඩාත් පුළුල් කිරීමට නව සැලැසමක්

by yasara
January 4, 2025 5:41 pm 0 comment

ශ්‍රී ජයවර්ධනපුර  මහ රෝහලේ සියලු සේවාවන් නව්‍යකරණයට ලක්කර ප්‍රතිකාර සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව  වඩාත් පුළුල් කිරීමට නව සැලැස්මක් යටතේ පියවර ගැනීමට   සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලන අධිකාරිය සමග පසුගියදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

අමාත්‍ය වරයා මෙම සාකච්ඡාවට එක්වූයේ ශ්‍රී ජයවර්ධනපුර  මහ රෝහලට වසර 40 ක් පිරීම නිමිත්තෙන් හා රෝහලේ සියලු  සේවාවන්   වඩාත් පුළුල් කර ප්‍රතිකාර සේවාවන් තවදුරත්   ඵලදායී ලෙස  ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබදව සොයා බැලීම සදහා  පසුගියදා එම රෝහලේ  සිදුකල විශේෂ නිරීක්ෂණ චාරිකාවකදීය.

1984 වර්ෂයේ දී ඇඳන් 1001 ක ධාරිතාවයකින් යුතුව ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ජපන් රජයෙන් මෙරටට ලැබුණු පරිත්‍යාගයකි. ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙම රෝහලක් ඉදිකර ඇත.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ වාට්ටු සහ කාමර ඇතුලු රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක්කල අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය මෙන්ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියළු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබදවත්, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන් පිළිබදවත් විශේෂ අවධානය යොමු කරමින්  සොයා බලන ලදී.

රෝහල් කාර්ය මණ්ඩලය සමඟද සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරි ගැටලු හා යෝජනා පිළිබදවත්, ඉදිරියේදී රෝහල සංවර්ධනය කිරීමේදී  කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස් පිළිබදවත් මෙහිදී අමාත්‍යවරයා විමසා බලන ලදී. එහිදී විශේෂයෙන්ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම සහ සායන සඳහා සහභාගිවන රෝගීන්ට දැනට සපයනු ලබන පහසුකම් හා සේවා වලට අමතරව තවදුරත් අලුතින් එක්කල යුතු සේවා පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන්සොයා බැලීමක් සිදු කරන ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වර්ථමානය වන විට මෙරට ජනතාවට තෘතීයික සත්කාර සේවාවන් සපයන පැරණිතම, විශාලතම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර ලාභ ලැබීම පසෙකලා ජනතාවාදී සේවාවක් ලෙස මෙම රෝහල අවම මිල ගණන් යටතේ සේවාවන්  පවත්වාගෙන යන බවද ප්‍රකාශ කලේය.

දශක හතරක අත්දැකීම් අභිමානයෙන් ගෙන රෝහලට පැමිණෙන රෝගීන්ට ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් නිබදව ලබා දීමට කටයුතු කරන ලෙසටද අමාත්‍යවරයා  මෙහිදී රෝහලේ සමස්ථ කාර්ය මණඩලයයෙන් විශේෂ ඉල්ලීමක්ද කලේය.

නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයාංග තිලකරත්න, අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන් මෙන්ම  විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT