Home » මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණය අබිරහසක්: පොලීසියෙන් පුළුල් විමර්ශන

මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණය අබිරහසක්: පොලීසියෙන් පුළුල් විමර්ශන

by sachintha
January 4, 2025 1:52 am 0 comment

දෙහිවල, හීල් විදීයේ පිහිටි නීතිඥවරියක් පදිංචිව සිටින නි‍ෙවසක ගෙවත්තක අබිරහස් ලෙස මියගොස් සිටි ජනමාධ්‍යවේදිනියකගේ සැමියා වන ඒ. හේමජීව මහතාගේ මරණය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කළුබෝවිල රෝහලේ දී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් පෙරේදා (04) සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාරවණය වී ඇත්තේ මිය ගොස් සිටින හේමජීව මහතාට පහර දී ඇති බවට වූ සලකුණු සිරුරේ ඇති බව ය.

ඒ සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට ඇති බැවින් සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කරමින් මරණය සම්බන්ධයෙන් ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි. අබිරහස් ලෙස මිය ගොස් සිටින හේමජීව මහතා දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිකරුවෙකි. නිවුන් දියණිවරුන්ගේ පියෙකි. දියණිවරුන් දෙදෙනා වෛද්‍ය විද්‍යාලයේ සහ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබති.

මෙම මරණය සිදුව ඇත්තේ පසුගිය 01 වෙනිදා රාත්‍රී කාලයේ දී ඔහුට සිදු වූ යම් සිදුවීමක් මුල්කරගෙන ය. එදින රාත්‍රී 10.30ත් 11.00ත් අතර කාලය තුළ ඔහු ගමන් කළ ත්‍රිරෝද රථය දෙහිවල, හීල් වීදියේ මාර්ගයේ නවතා තිබී දෙහිවල පොලීසියට හමු වී තිබේ. හිමිකරුවකු නොමැති එම ත්‍රිරෝද රථය පොලීසියට රැගෙන ඒමට පියවර ගෙන ඇත. එහි ජංගම දුරකතනයක් ද තිබී ඇතත් ඒ ඔස්සේ හෝ මෙම ත්‍රිරෝද රථය මහ පාරේ දමා යෑම සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුව නැත.

මාධ්‍යවේදිනී ශ්‍රීයාණි විජේසිංහ මහත්මිය පවසන්නේ රාත්‍රී කාලයේ සිය සැමියා නි‍ෙවසට නොපැමිණි බැවින් ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන කළ පරීක්ෂාවේ දී එම ඇමතුමට පිළිතුරු දුන්නේ දෙහිවල පොලීසියෙන් බව ය. මහ මඟ ත්‍රිරෝද රථය තිබී පොලීසියට රැගෙන ආ බවත් රියැදුරු නොසිටි බවත් පොලීසිය ඇයව දැනුම්වත් කර ඇත.

දෙහිවල හීල් වීදියේ නීතිඥවරියක පදිංචි නිවසක ගෙවත්තක පුද්ගලයකු වැටී සිටින බවට පොලීසියට තොරතුරක් ලැබී ඇත්තේ පසුගිය 02 වෙනිදා අලුයම 1.30ට පමණ ය. එම තොරතුර පොලීසියට ලැබුණේ යැයි පැවසෙන්නේ නීතිඥවරියගෙනි. ඒ අනුව පොලීසිය එම නි‍ෙවසට ගොස් පරීක්ෂා කර ඇත. වැටී සිට ඇත්තේ මාධ්‍යවේදිනියගේ සැමියා ය. එම අවස්ථාවේ දී එම නි‍ෙවසේ යම් සාදයක් ද තිබී ඇති බව කියවේ. එම ස්ථානයේ වාහන කිහිපයක් ද නවතා තිබී ඇත. පොලීසිය පැමිණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ වැටී සිටි ඔහුව එම ස්ථානයේම තබා ය. නැවතත් පොලීසිය එහි ගොස් 1990 ගිලන් රථයක් ගෙන්වා ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත්තේ උදෑසන 7.00ට පමණ ය. රෝහල්ගත කළ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 03 වැනිදා උදෑසන මියගොස් තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති බව පොලිස් බුද්ධි අංශය බලධාරීන් දැනුම්වත් කරනතුරු දෙහිවල පොලීසිය පවා මෙම සිදුවීම සාමාන්‍ය සිදුවීමක් ලෙස සිතා සැහැල්ලුවෙන් කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ. රෝහල්ගත කරන විට මාධ්‍යවේදිනියගේ සැමියාගේ හැඳ සිටි ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් අන්දවා ඇති බව ද විමර්ශනයේ දී පෙනී ගොස් ඇත.

සිය සැමියා රෝහල්ගත කර සිටින බව දැනගත් වහාම රෝහලට ගිය මාධ්‍යවේදිනියට සිය සැමියාගේ සිරුරේ බැලූ බැල්මට පහර දීමේ සලකුණු ඇති බව නිරීක්ෂණය වී තිබේ. එසේ තිබියදී පොලීසිය ඒ ගැන උනන්දුවක් නොදැක්වීම ගැන ද මේ වනවිට සැකයට තුඩු දී ඇත.

නීතිඥවරියගේ ගෙවත්තේ වැටී සිටි මාධ්‍යවේදිනියගේ සැමියා ගැන අලුයම 1.30ට පමණ තොරතුරු ලැබී එම ස්ථානයට ගිය පොලීසිය උදෑසන කාලය වන තුරු පැය 05කට වැඩි කාලයක් රෝහල්ගත නොකර ඔහුව එම ස්ථානයේම තැබුවේ ඇයි? ඔහුගේ ඇඳුම් මාරු කරනු ලැබුවේ කුමන හේතුවක් නිසා ද? ආදී ප්‍රශ්නගත සිදුවීම් රැසක් මෙම විමර්ශනයේ දී පැන නැඟී තිබේ. ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදිනියගේ සැමියා නීතිඥවරියගේ නි‍ෙවස පිහිටි ගෙවත්තට ගියේ කුමන වේලාවකදී ද? ඒ ඇයි? ඔහුට පහර දුන්නේ කවුරුන් ද? මේ සියල්ල පවතින්නේ අබිරහසක් ලෙසිනි.

මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට සමගාමීව පොලීසිය පාර්ශ්වයෙන් මේ ගැන සිදු කළ මූලික විමර්ශන කටයුතු මඟහැරීම් ගැන බස්නාහිර පළාත් දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ගයාන් කුමාර වීරසිංහ,

බණ්ඩාරගම බිමල් ජයසිංහ සහ

බොරලැස්ගමුව – සමීර අබේසිංහ

දෙහිවල – පී. ඩී. ධර්මපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT