ඉස්කොලේ යන කාලෙ, දවසක් මට එහා පැත්තෙ හිටි එකා අපූරු කතාවකට මුල පිරුවා. ඌ මහා දාර්ශනික විදිහට කැරැල්ලක් ගැන විප්ලවයක් ගැන කතාවක් කියාගෙන ගියා. මිනිහගෙ කතාවෙන් කියවුණේ ‘ආර්ජන්ටිනාව කියල රටක් තියෙනවාය. එහේ චේ කියල හාදයෙකුත් ඉන්නවාය’කියලා. මේ අතරෙම බොලිවියාවක් ගැන කියපු මතකයකුත් එහෙ මෙහෙ සැරිසරනව වගේ මතකයි. මිනිහ ඔය කියවිල්ල අස්සෙ චේ කියන්නෙ රොබින්හුඩ් වගේ චරිතයක් කියන්නත් අමතක කළේ නෑ. මේ වෙලාවෙම තමයි ඉහළින් පියාසර කරගෙන ආපු හුනු කොට්ටයක් කළු මූණ සුදු වෙන විදිහට ඔළුව උඩට පතිත වුණේ. එකෙක් හිනා වුණේ නෑ……. ඒත් ඔක්කොම හිනා වුණා. හිනා නොවුණු එකම එකා මට කතාව කියපු එකා. එදා තමයි තේරුම් ගත්තෙ විප්ලවයක් කරන එක විතරක් නෙවේ ඒ ගැන කතා කරන එකත් දරුණු ප්‍රහාරවලට ලක්වෙන විදිහෙ සිදුවීමක් කියල. ගෙදර ගිහින් සිතියමක් අරන් මම ආර්ජන්ටිනාව හෙව්ව. ඒත් බොලිවියාව හොයාගන්න බැරි වුණා. මේ සිද්ධිය වුණේ හයේ පන්තියේ විතර කාලෙදි.
ඒත් මම ආර්ජන්ටිනාව හොයාගත්තා. පස්සෙ කාලෙක මම චේව හොයන්න පටන් ගත්ත… චේගෙ පොත් වගයක් ලැබුණා. ඒත් චේව හරියට අල්ලගන්න බැරිවුණා. දැන් ඉන්න උන්ට වුණු වැඩේ මට ඒ කාලෙම වුණා.
මේ කියන කාලෙ අපි පොඩි කාලෙ. තාත්තා දේශපාලනය කරන කාලෙ. භීෂණය හොඳටම තිබිල කොල්ලො, කෙල්ලො මැරුණු කාලෙ. එහෙම කරපු එවුන්ට තාත්ත කිවුවෙ ‘චේගුවේරාකාරයො’ කියල. ලංකාවෙ චේගුවේරාකාරයො මෙහෙම නම් ඒ මනුස්සය යකෙක්නෙ යකෝ කියල නිකමටවත් හිතුණෙ නෑ. මට ඕන වුණේ මේ මිනිහා කොහොම වෙන්න ඇතිද කියල දැන ගන්න විතරයි.
කාලයක් මම නතරවෙලා හිටියා අක්කලගෙ ගෙදර. ඔෆිස් එක තිබුණෙ කොල්ලුපිටියෙ. චේ ගැන ලියපු පොත් ගත්තෙ ටවුන් හෝල් එකෙන්.
ගෙදර ගිහින් පොත් කියවනකොට මස්සිනා කිවුවා
“කුණුහරුප පොත් කියවන්න නැතුව හිටපන්” කියලා.
මම කුණුහරුප කියවන්න ආසයි. ඒක නිසා ඒ පොත් ටික මම කියෙව්වා. මේ පොත් ඔක්කොම අල්ලපු ගෙදර එකා අරන් ගියා. දැන් අල්ලපු ගෙදර එකත් නෑ, පොත් ටිකක් නෑ. ඒත් අල්ලපු ගෙදර තියෙනවා. ඒ ගෙදර තියෙන බර සාරෙටත් වැඩිය බරක් තියෙන අමුතුම දේවල් ටිකක් මම පොත් ටිකෙන් ඔළුවට හලාගත්තා.
චේ ගුවෙරා සමස්ත කියුබාවේම පරමාදර්ශි චරිතය වෙනකොට, අදූරදර්ශි චරිතයක් විදිහට ඒ ‘චේ’වම තවත් රටවල හංවඩු ගැහෙන්න පටන් ගන්නවා. ඒ ‘චේ’ වම අඩු ගණනට, වැඩි ගණනට, දරා ගන්න බැරි මිල ගණනට ‘චේ’ හිතුවෙවත් නැති විදිහට රට රටවල්වල සේල් වෙනකොට ඒ බිස්නස් අස්සෙම චේගෙ පෙම්වතියො ගැන කතා කරන්න පටන් ගන්නවා.
විප්ලව කරන්න පුළුවන්ද සුන්දර මිනිහෙකුට. සුන්දර මිනිහෙකුට පුළුවන් ප්‍රේම කරන්න. ප්‍රේම කරන අතරෙ ඇයි බැරි විප්ලවයක් කරන්න. විප්ලවයක් කියන්නෙම කැරැල්ලක්. ආදරණීය කැරැල්ලක්. සමස්ත සමාජ පද්ධතියටම මුදාහැරපු. චේගුවේරා කියන්නෙ රළු මිනිහෙක් කියලා ධනපති පන්තියෙ ඈයො මොරදෙන වාරයක් පාසා කියුබන් මිනිස්සු කියන්නෙම චේ කියන්නෙ තමන්ගෙ හදවතේ ඉන්න මිනිසා කියල.
“උඹ ඔය කරන්න හදන්නෙ ඉගෙන ගෙන ඉවර වෙලා තමන්ගෙ ජීවිතේම කාලකණ්ණි කරගන්න හදන වැඩක්”
තාත්ත ඇස් ලොකු කරල, සද්දෙ දාල, අඩි පොළොවෙ ගහල මහ හයියෙන් කෑගැහුවා. මට නෙවේ පියල්ට. පියල් අපේ කඩේට පාන් ගෙනාපු කොල්ල. වැඩියෙන් කියවනව කියල තමයි තාත්තා පියල්ට බැන්නෙ. වෙන කව්රුත් ගැන නෙවෙයි චේ ගැන. ටික දවසකට පස්සෙ ඒ පියල්ම චේ ගැන කියවල මිනිස්සුන්ට ආදරේ කරන්නෙ කොහොමද කියල ඉගෙන ගෙනද කොහෙද අපෙ තාත්තට කිව්වා
“මුදලාලි පුළුවන් ඉක්මනින් වෙනින් පළාතකට ගෙදර අයත් එක්ක යන්න” කියලා. අපි ටික දවසකින් වෙනින් පළාතකට ආවා. පියල් වෙඩි කාලා මළා. ඒත් තවමත් චේ ජීවත් වෙනවා. චේ වගේම චේව අදහපු පියල් තවමත් මගෙ හිතේ ඉන්නවා.
ඉතින් අපි කොහෙන්ද චේ ගැන කතා කරන්න පටන් ගන්නේ. භූමිය හුදෙකලා වුණු තරමටම තමයි නිදහස් සිතිවිලි උපදින්නේ. මිනිසුන්ට ප්‍රේම කරන තරමටම තමයි ලෝකයක් සමාජයට විවෘත වෙන්නේ. හැමදේම, හැමදාම, එකම විදිහට කළාම ඒකත් එකක් විතරයි. එකම දේ වුණත් වෙනස් විදිහට වෙනම විදිහකින් බැලුවොත් එතනින් බිහිවෙන්නෙ වෙනම දෙයක්.
හේතු සමීර