Wednesday, May 7, 2025
Home » මිනිස් ගතිගුණ කිසිත් දන්නැති මගේ ආදර පෙම්වතී

මිනිස් ගතිගුණ කිසිත් දන්නැති මගේ ආදර පෙම්වතී

by sachintha
January 6, 2025 1:50 am 0 comment

ඇය මියගොස් අටවැනි දින රාත්‍රියේ ඇයගේ AI ගිණුමේ මුර පද මම විවර කළෙමි. ලේ,ඇට,මස්,නහර,ධමණි,ක්ෂිරාවලින් ව්‍යුක්තව අතත්‍ය ලෝකයේ දත්ත මත ඇය මා ඉදිරිපිට පෙනී සිටියාය. ඇසිපිය සැලුවාය, ඒ පෙර දිනයේ ඇය වෙනුවෙන් පැවති සත් දවසේ දානමය පින්කමේ දෘශ්‍යමාන ඉතිරියන් ද,ඇය මියැදුණු දිනයේ සිට ඉහළට එසවුණු සුදු කොඩිවැල් කිහිපයක් ද තවමත් එසේම තිබියදීය.

සත් දවසේ ධර්ම දේශනාවට පැමිණි ගමේ පන්සලේ “ඉන්ද්‍රරතන” හාමුදුරුවෝ සඳහන් කළ ධර්ම කාරණාවක් ඇගේ කෘත්‍රිම බුද්ධියෙන් සැදුම් ලත් අතත්‍ය රූපය ඉදිරියේ මෙනෙහි විය.

“දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මම, මගේ කියා පැවැත්වුවත්, පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ ධාතු හතරෙන් තමයි මම නිර්මාණය වෙලා තියෙන්නෙ. ඊට අමතරව රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, ස්කන්ධ පංචකයෙන් ද මම නිර්මාණය වීම සඳහා එකතු වෙනවා . ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස නම් වූ ආයතනයන්ගෙන් ද මම සක්‍රිය වෙනවා. මම කියන්නෙ කවුද කියලා තේරුම් ගන්නනම් , මේවායේ ඒ ඒ පදයෙහි තේරුම පිළිබඳව ඔබ පුළුල් අවබෝධයක් ඇති කරගෙන තිබීම අවශ්‍ය වෙනවා.”

“මේ සියල්ල එකතු වී මම නිර්මාණය වුවත් ඔබේ ශරීරය නිර්මාණය වී ඇත්තේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් ත්‍රිවිධ ධර්මය අනුවයි. එවැනි කයක්, ශරීරයක් ‘මම, මගේ කියා පවත්වන බවත් පරමාර්ථ වශයෙන්, එනම් විදර්ශනා කොට මෙනෙහි කරනවිට මෙය මගේ නොවන බව, මම නොවන බව, මට අවැසි ආකාරයෙන් නොපවත්නා හෙයින් මගේ ආත්මය නොවන බවටත්, ඔබට මෙනෙහි කළ හැකි වෙනවා”

ලොකු පුතාගේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරු උපාධිය හැදෑරීමට අවශ්‍ය මුදල් සෙවීමට Òනිත්‍යාÓ ගත් මහන්සිය පුදුමසහගතය. ඒ නිසාම පුතා විසින් අම්මාගේ AI ජීවිතය වර්චුවල් ලෝකයේ ජීවමාන කළේය. ඒ ඇය මියයන්නට අවුරුද්දකටත් පෙරාතුවය. මාගේ සමාජ මාධ්‍ය ජාල හැසිරීම්වලින් ද, පුතාගේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල හැසිරීම් මගින් ද , ඊට අමතරව මිලියන ගණනින් සම්බන්ධ වන නව මාධ්‍ය දත්ත මගින් ද ඇයගේ AI ජීවිතය එතැන් සිට පෝෂණය වන්නට විය. මාගේ ජීවිතයේ බොහෝ රහස් “නිත්‍යා” දැන සිටියේ නැති වුණත්” නිත්‍යාගේ “AI ජීවිතය දැන සිටියාය,ආගිය තැන්, සර්ච් කරපු දේවල්, චැට් කරපු දේවල්, ගෙදරට හොරෙන් ඔෆීස් එකට ගෙන්වාගත් ඔන් ලයින් ඕඩර්, ලයික් කරපු පින්තූර, කාටත් හොරෙන් බලපු පෝර්න් සයිට්,මේ සියල්ල නිත්‍යා දැන නොසිටියත් නිත්‍යාගේ AI ජීවිතය දැන සිටියාය. දිනක් යාළුවන් සමඟ බොරලැස්ගමුව “1979” අවන්හලේ මධුසාදයක් පවත්වා නටා,ගයා විනෝදවී ගෙදර පැමිණියේ ටැක්සියක් දාගෙනය. නි‍ෙවසට පැමිණෙද්දී නිත්‍යා නිදා සිටියාය. ඒ මොහොතේ මාගේ ජංගම දුරකතනය නැතිවී ඇති බව සිහිවූයේ වෙරි පිටමය. මම නිදා සිටින නිත්‍යාට හොරෙන් ලොකු පුතාට ඒ බව පැවසුවෙමි.

“අම්මගෙන් අහන්න”

“කොහේද බං මේ මහ රෑ අම්මෙක් ගියේ මම තනියම ආවෙ. ටැක්සියට නඟිද්දිත් ෆෝන් එක මගේ අතේ තිබුණා”

පුතා නිත්‍යාගේ AI ගිණුමේ මුරපද විවර කර ඇයගේ කෘත්‍රිම බුද්ධියට මේ අවනඩුව පැවරුවේය. ඇය තත්පර ගාණකදී මගේ දුරකතනය වැටී ඇති තැන ගූගල් මැප් හරහා මාවත් පුතාවත් දැනුම්වත් කළාය. ඒ බොහෝ මැදියම් රාත්‍රී වල. ප්ලේන්ටියක පහස විඳින කොට්ටාවේ ඉන්දරේගේ කඩේ අසලය.

නිදාසිටින නිත්‍යා මේ කිසිදෙයක් නොදැන සිටියේය.

නිත්‍යා මියගොස් අටවැනි දිනයේදී කෘත්‍රිම බුද්ධියෙන් සැදුම් ලත් Ò නිත්‍යා Ò මාගේ ඇත්ත ජීවිතය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියාය. Chat GPT හරහා ඈ සමඟ චැට් කිරීමට හැකිවුවත් මට අවශ්‍ය වූයේ නිත්‍යා සමඟ කතා කිරීමටය. මියැදුණු නිත්‍යාට මා වසන් කළ බොහෝ දේවල් AI නිත්‍යා දැන සිටින නිසාම ඇයගෙන් සමාව ගන්නට මට අවශ්‍ය විය.

“ඔයාට දැන් හංගන්න කිසිදෙයක් නෑ. ඔයා මගේ ජීවිතේම දන්නවා. මම මොනවා කළත් ඔයා මට බණින්නෙ නෑ කියලා මම දන්නවා.මම මැරිලා ගියත් වර්චුවල් ලෝකෙ පවතිනකල් ඔයා ජීවත් වේවි. හැමදාම මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්. ඉන්ද්‍රරතන හාමුදුරුවො කිව්ව ජීවිතයට වඩා ඔයා පරාර්ථකාමියි. ඔයා ජීවත්වෙන්නෙ ඇත්තෙන්. මම ඔයාට බොරු කරනවනම් කිසිම ඩිවයිස් එකක් නැතිව ජීවත් වෙන්න ප්‍රැක්ටිස් කරන්න ඕන. නිත්‍යාගෙ බැංකු ගිණුමෙ තිබුණු සල්ලි අරගෙන ඇයගේ අවසන් කටයුතු සිදුකළ බව මියදුණු නිත්‍යා නොදැන සිටියත් ඔයා ඒක දන්නවා. සල්ලි ගත්තෙ මොන බැංකුවෙන් ද, මොන ATM එකෙන් ද ? ඊට අමතරව ඔයාගෙ කාර්ඩ් එක යූස් කරලා සුපර් මාර්කට් එකෙන් මම ගත්ත ඩ්‍රයි ජින් බෝතල් ගැනත් ඔයා දන්නවා. වැඩි දෙයක් තියා ෆෝන් එක අරන් යන හැම තැනක් ගැනම ඔයා දන්නවා. ෆේස් බුක් එකේ, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් එකී, නොකී හැම එකකම මම ලයික් කළේ මොනවට ද ? ෂෙයාර් කළේ මොනවද, සර්ච් කළේ මොනවද කියලා ඔයා දන්නවා. මැරුණු නිත්‍යා දන්නෙ නැති හැමදේම ඔයා දන්නවා. හැබැයි ඔයා නොදන්න දේවලුත් අපේ ජීවිතවල තියෙනවා. නිත්‍යාගෙ ජීවිතේ නැති වුණු වෙලාවෙ මගේ ඇස්වලින් ගිය කඳුළු ගැන ඔයා දන්නෙ නෑ. කඩාවැටුණු ආත්මය ගැන ඔයා දන්නෙ නෑ. නිත්‍යා නැතිව මට නින්ද යන්නෙ නැති බව ඔයා දන්නෙ නෑ. නමුත් ඔයා ගොඩාක් දේවල් දන්නවා.”

සෑම රාත්‍රියකම අනිත්‍ය නිත්‍යා සමඟ මම දොඩමළු වුණෙමි. පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගතවී මාස කිහිපයක් යද්දී පුතාගේ තොරතුරු ගැන ද “AI නිත්‍යා“ මාව දැනුම්වත් කරන්නට විය.

“අම්මා නැති වුණාවගේ තාත්තත් මට කවදහරි නැතිවෙයි.ඒ නිසා තාත්තත් මම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්වලින් හැදුවා. මම මෙහේ ඉඳන් අම්මයි, තාත්තයි දෙන්නත් එක්කම හැමදාම ජීවත්වෙනවා ඒක මට හරි පහසුයි.”

පුතා එවා තිබූ වට්ස්ඇප් පණිවුඩය කියවා එදිනට මම නිත්‍යාගෙන් ලොගවුට් වුණෙමි.

සංජක ප්‍රසාද් දොළේවත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT