Home » කසක්ස්තාන් අධිවේගී මාර්ගයේදී වාහන සියයක් එකට ගැටෙයි
ගෝලීය සීත සෘතුව දරුණු අතට

කසක්ස්තාන් අධිවේගී මාර්ගයේදී වාහන සියයක් එකට ගැටෙයි

by sachintha
January 6, 2025 1:54 am 0 comment

අමෙරිකාවේ මිලියන 62කට බලපෑම්

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

මෙවර සීත සෘතුවේ බලපෑම් පෙර නොවූ විරූ අයුරින් වර්ධනය වී ඇතැයි ද, රටවල් රැසක හිම පතිත වීම් හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කසක්ස්තානයේ අක්මෝලා කලාපයේ අධිවේගී මාර්ගයක් හිමෙන් වැසී යෑම හේතුවෙන් එහි ගමන් ගත් රථවාහන සියයකට ආසන්න සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවී ඇති බවත්, තුවාල ලැබූ හෝ මියගිය පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වන විට කසක්ස්තානයේ ආපදා කළමනාකරණ ඒකකය සහ පොලිස් කණ්ඩායම් එම අධිවේගී මාර්ගයේ රථවාහන ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර, ගිලන් රථ සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ අතර අමෙරිකානු ජනතාව මිලියන ගණනාවක් දශකයකට පසු එරට පැතිරෙන දරුණුතම හිමකුණාටු සහ සීත සෘතුවට මුහුණ දී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉදිරි දින කිහිපයේදී අමෙරිකාවේ උෂ්ණත්වය ඉතා පහළ මට්ටමකට වැටෙනු ඇති බවත්, එය වසර 2011 පසු අමෙරිකානු ජනතාව මුහුණ දෙන දරුණුතම හිමපතනය වනු ඇති බවත් එරට ජාතික කාලගුණ විද්‍යා සේවය අනාවැකි පළ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ෆ්ලොරිඩා සහ මිසිසිපි ප්‍රාන්තවලට හිමකුණාටුවල බලපෑම් දරුණු වනු ඇතැයි ද අමෙරිකානු කාලගුණ විද්‍යා සේවය සඳහන් කර ඇතැයි වාර්තා වේ. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවලට ද මෙවර සීත සෘතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මැන්චෙස්ටර්, ලිවර්පූල් ඇතුළු නගර රැසක ගුවන්තොටුපොළ හිමෙන් වැසීයෑම හේතුවෙන් ධාවන පථ වසා දැමීමට පියවර ගෙන ඇති අතර, ගුවන් ගමන් අත්හිටුවීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT