Tuesday, May 13, 2025
Home » දේශපාලන සදාචාරයක් වගේම මාධ්‍ය සදාචාරයකුත් රටේ නෑ

දේශපාලන සදාචාරයක් වගේම මාධ්‍ය සදාචාරයකුත් රටේ නෑ

-ඇමැති කේ.ඩී ලාල්කාන්ත

by sachintha
January 6, 2025 2:40 am 0 comment

දේශපාලන සදාචාරයක් මෙන්ම මාධ්‍ය සදාචාරයක් ද මේ රටේ නැති බවත් හිතාමතා ඇතැම් මාධ්‍ය සිදු කරන බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

සදාචාරයක් නැතිව ක්‍රියාත්මක වන මාධ්‍ය නිවැරදි මාවතට ගැනීම සඳහා ප්‍රඥප්තියක් මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් හා ඒ පිළිබඳ දැනුම ඇති විශේෂඥයන් එක්ව සකස් කර ගන්නේ නම් එය වඩා හොඳ බව ද ඒ මහතා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේ ද පැවසුවේය.

‘මේ රටේ ක්‍රියාත්මක වන නීති හැම කෙනකුටම අදාළයි. මාධ්‍යවේදීන්ට කියලා නීති ක්‍රියාත්මක නොවන රටක් නැහැ. දේශපාලන සදාචාරයක් නැහැ වගේම මේ රටේ මාධ්‍ය සදාචාරයකුත් නැහැ. අනිත් ආයතන බොහොමයකත් මේක නැහැ. මාධ්‍යවේදීන්ම එකතු වෙලා මේකට ප්‍රඥප්තියක් හදා ගන්නවා නම් ඒක තමයි හොඳම දේ. රටක් හරි මඟට ගන්න නීති අවශ්‍යයි. ඒක මාධ්‍යවේදීන්ටත් වලංගුයි.

‘ඕනෑම වෘත්තියක යෙදිලා ඉන්න කෙනෙක් නීතිමය වශයෙන් යම් වැරැද්දක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ජනතාවට ඉඩක් තිබිය යුතුයි. මාධ්‍ය නිසා මේ රටේ ජනතාව අනන්තවත් පීඩාවට පත්වන අවස්ථා තිබෙනවා. මාධ්‍ය මඟින් ස්ත්‍රී දූෂණයක්, මිනීමැරුමක් වාර්තා කරන විදිහ බැලුවොත් මේක තේරුම් ගන්න පුළුවන්. සමහර සිදුවීම්වලදී අධිකරණ තීන්දු ගන්නත් කලින් මාධ්‍ය මඟින් මිනිස්සුන්ව වැරදිකාරයෝ කරනවා. පාරේ වාහනයක් හැප්පුණොත් පොලීසිය අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන්නත් කලින් මාධ්‍ය මඟින් වැරදිකාරයා තීරණය කරන අවස්ථා අපි දකිනවා. අනතුරට දේශපාලන ප්‍රබලයකුගේ වාහනයක් සම්බන්ධ නම් වාහනයේ ඉන්න දේශපාලනඥයා වැරදිකාරයා කියලා පෙන්වන්න තමයි ඔක්කෝටම කලින් උත්සාහ කරන්නේ. සමහර වෙලාවට වෙන කෙනෙක් දේශපාලනඥයාගේ වාහනයේ ඇවිත් හැප්පිලා අනතුර වෙලා තියෙන්නේ. ඔහොම තමයි මේවා සිද්ධ වෙන්නේ. මාධ්‍ය හිතාමතා බොරු ප්‍රචාර කරන අවස්ථා අනන්තවත් තිබෙනවා. ඒවා පාලනය කළ යුතුයි. ඒක ජනතාවගේ අයිතියක් වගේම අපේ වගකීමක්.

අපේ රටේ ඇතැම් සමාජ මාධ්‍ය වැඩ කරන්නේ වගකීමෙන් තොරවයි. පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතවලට පවා අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් වන ආකාරයේ දේවල් කිසිදු සොයා බැලීමකින් තොරව මේ අය ප්‍රචාරය කරනවා. මගේ දුව කැනඩාවේ අධ්‍යාපනය ලබනවා කියලා වරක් ප්‍රචාරයක් ගෙන ගියා. ඒ වෙලාවේ මමයි දුවයි ගෙදර එකට වාඩි වෙලා ඒක බලාගෙන හිටියා. මම මේ සම්බන්ධයෙන් නඩු දාන්න ගියේ නැහැ. සමාජ මාධ්‍ය මෙයට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT