නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිරියට පවත්වාගෙන යෑමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. දශක හතරක අත්දැකීම් අභිමානයෙන් ගෙන රෝහලට පැමිණෙන රෝගීන්ට ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් නිබඳව ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලු සේවා නව්‍යකරණයට ලක්කර ප්‍රතිකාර සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව වඩාත් පුළුල් කිරීමට නව සැලැස්මක් යටතේ පියවර ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලන අධිකාරිය සමඟ පසුගියදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය. ඇමැතිවරයා එහිදී මේ බව කියා සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට වසර 40ක් පිරීම නිමිත්තෙන් හා රෝහලේ සියලු සේවාවන් වඩාත් පුළුල් කර ප්‍රතිකාර සේවා තවදුරටත් ඵලදායී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පසුගියදා එම රෝහලේ සිදු කළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකදීය.
1984 වර්ෂයේදී ඇඳන් 1001ක ධාරිතාවකින් යුතුව ආරම්භ වූ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ජපන් රජයෙන් මෙරටට ලැබුණු පරිත්‍යාගයකි. ජපන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මේ රෝහල ඉදිකර ඇත. මෙහිදී අමාත්‍යවරයා රෝහලේ වාට්ටු සහ කාමර ඇතුළු රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක් කළ අතර රෝගී සත්කාර සේවාවන් සිදු වන ආකාරය මෙන්ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවන් පිළිබඳවත්, රෝහලෙන් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් පිළිබඳවත් විශේෂ අවධානය යොමු කෙරිණි.
රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරි ගැටලු හා යෝජනා පිළිබඳවත්, ඉදිරියේදී රෝහල සංවර්ධනය කිරීමේදී කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස් පිළිබඳවත් මෙහිදී අමාත්‍යවරයා විමසා බැලුවේය. එහිදී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම සහ සායන සඳහා සහභාගි වන රෝගීන්ට දැනට සපයන පහසුකම් හා සේවාවලට අමතරව තවදුරටත් අලුතින් එක් කළ යුතු සේවා පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සොයා බැලුවේය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වර්තමානය වන විට මෙරට ජනතාවට තෘතීයික සත්කාර සේවාවන් සපයන පැරණිතම, විශාලතම රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන බවත් ලාභ ලැබීම පසෙකලා ජනතාවාදී සේවාවක් ලෙස මේ රෝහල අවම මිල ගණන් යටතේ සේවාවන් පවත්වාගෙන යන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයාංග තිලකරත්න, අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහත්වරුන් ද, විශේෂඥ වෛද්‍යවරුන් ද, වෛද්‍යවරුන් ද, හෙද හෙදියන් ද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.
සන්ධ්‍යා කරුණාරත්න