“රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට මමත්, අම්මාත් අපේ නිෙවසේ කුස්සියේ සිටියා. කුස්සියට ආපු මගේ නංගි ”අම්මේ මමත් උදව්වක් කරන්නම්.” කියලා පොල් ටිකක් ගාලා එයා කාමරයට යන බව කියලා පිටව ගියා. එහෙම ගිහිල්ලා විනාඩි දෙකක්වත් ගත වුණේ නැහැ. ”අම්මා” කියලා නංගිගේ කාමරය දෙසින් කෑ ගහනවා ඇහුණා. ඒ ශබ්දයට මමත්, අම්මාත් කාමරයට දුවගෙන ගියා.
නංගි ඒ කාමරයේ තිබුණු ඇඳ අල්ලාගෙන බිම වාඩි වෙලා වාගේ සිටියා. දුවගෙන ගිය අම්මා ”මොකද පුතේ ” කියලා නංගිව ඇල්ලූවා. ඒ සමඟම අම්මා පිටතට විසි වෙලා වැටුණා”.යැයි විදුලි සර වැදීමෙන් ඉකුත් 03 වෙනි දින සවස මිය ගිය 14 හැවිරිදි පාසල් දැරියකගේ මරණය සම්බන්ධයෙන් පැවති මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණයේ දී මිය ගිය දැරියගේ වැඩිමහල් සහෝදරිය වන රත්නායක මුදියන්සේලාගේ චාමනි ජීවන්ති විජේරත්න (20) යන අය සාක්ෂි දෙමින් එසේ පැවසුවාය.
මෙම අනතුරින් හසලක, තෝරපිටිය, කුඩාඔය, පදිංචිව සිටි හසලක කීණපැලැස්ස යශෝදරා බාලිකා විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලැබූ රත්නායක මුදියන්සේලාගේ මෙත්මී සිතුම් කුමාරි විජේරත්න යන 14 හැවිරිදි පාසල් දැරිය මිය ගොස් තිබේ. මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මහියංගණ වැඩ බලන මහේස්ත‍්‍රාත් හමුවේ පැවති මරණ පරික්ෂණයේ දී හසලක පොලීසියේ සැරයන් එස්. රූපසිංහ (38625) මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් දැරියගේ පියා වන රත්නායක මුදියන්සේලාගේ විජේරත්න මහතා මෙසේ පැවසීය.
‘මට දුවලා දෙන්නෙක් සිටිනවා. ලොකු දුව චාමනි ජීවන්ති විජේරත්න පොඩි දුව මෙත්මී සිතුම් කුමාරි විජේරත්න. පොඩි දුව පාසල් යන දරුවෙක්. එයා කීණපැලැස්ස බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මමත් දුවලා දෙන්නත්, බිරියත් එයාගේ තාත්තාත් මෙදින (03) නිෙවසේ සිටියා. මමත් මාමාත් නිෙවසේ සාලයේ රූපවාහිනිය බලමින් සිටියා. බිරියත් දුවලා දෙන්නත් රාත‍්‍රි ආහාරය පිළියෙල කිරීමට කුස්සියට ගොස් සිටියා. මට මතක විදිහට රාත‍්‍රි 7.15ට විතර දුව පාඩම් කරන කාමරය දෙසින් ”අම්මා” කියලා දුව ශබ්දයෙන් කෑ ගැහැව්වා. ඒ කෑගැසීමේ හඬට මම දුවගේ කාමරයට දුවගෙන ගියා. මම යන විට දුව ඇඳ අල්ලාගෙන බිම සිටියා. බිරිය ඇයි දුවේ කියලා දුව අල්ලන කොටම එයා විසි වෙලා ගියා. මට හිතුනා දුවට විදුලිය වැදිලා ඇති කියලා ඒකයි බිරියටත් විදුලිය වැදුණේ කියලා හිතුනා. මම දුවලා ගිහිල්ලා ටිප් සුවිච් එක විසන්ධි කළා. ඒ සමඟම අපි දුව අරගෙන මහියංගණ මූලික රෝහලට ගියා. එහිදී දුව පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වා දුව මිය ගිහිල්ලා කියලා. ‘‘
මෙම දැරිය පාඩම් වැඩ කරන පොත් කාමරයේ ඇති යකඩ ඇඳ අසල බිත්තියට විදුලි පේනුවක් සවිකර ඇති අතර එහි වයරය අඩි කීපයක් දිගට ඇති අතර කෙළවරේ තිබෙන මල්ටි ප්ලග් එකට ජංගම දුරකතනය සම්බන්ධ කර අසල තිබූ ඇඳ මත වාඩි වීමෙන් ඇයට විදුලිය වැදී ඇති බවත් බිත්තියේ ඇති ප්ලග් එකෙන් පිටතට ඇද ඇති වයරයේ ස්ථානයක් යකඩ ඇදේ පටිය පලුදු වීමෙන් එම ස්ථානයෙන් විදුලිය කාන්දු වී මෙම අනතුර සිදු වී ඇති බවට පොලීසිය හා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
හසලක සමූහ ඊ. එම්. එස්. ඒකනායක