Tuesday, May 6, 2025
Home » සැමියාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරු පොරකති

සැමියාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරු පොරකති

by sachintha
January 6, 2025 1:50 am 0 comment

හෘදයාබාධයකින් මියගිය පුද්ගලයකුගේ දේහය බෙදා ගැනීමට නොහැකිව කාන්තාවන් දෙදෙනකු කඳුළු පිරි දෑසින් යුතුව කොළඹ හදිසි මරණ පරීක්ෂකවරයා හමුවීමට ඉකුත් දා පැමිණ සිටි පුවතක් අපට අසන්නට ලැබිණි.

‘මට එයාගේ අවසන් කටයුතු කරන්න ඕනෑ. ඒ නිසා එයාව මට දෙන්න’ එක් කාන්තාවක් මහ හඬින් හඬමින් කීවාය. ‘නෑ එයා මගේ නිත්‍යනුකූල ස්වාමියා. ඉතිං එයාව ඕනෑ මට. මගේ දරුවන්ගේ තාත්තා එයා.’ අනෙක් කාන්තාව ද නොදෙවෙනිව කීවාය. ‘මං කසාද බැන්දේ නෑ. ඒත් මගේ දරුවන්ගේ තාත්ත එයයි.’ මේ හතර බිහිරි කතාව මැද්දේ හදිසි මරණ පරීක්ෂකවරයා සිය රාජකාරි පටන් ගත්තේය.

අවුරුදු 60ක් වයසැති මියගිය පුද්ගලයාගේ නිසල දේහය බෙදා ගැනීමට නොහැකි වී ඇත්තේ ඔහුගේ අනියම් බිරිය සහ නීත්‍යනුකූල බිරියට බව එහිදී හෙළිවිය. මරණකරු තරුණ වියේ දී ඇති කරගත් අනියම් ඇසුරක ප්‍රතිඵලයක් ලෙස නීත්‍යනුකූලව විවාහ නොවී මෙම අනියම් බිරිය සමඟ අවුරුදු 36ක් ජීවත් වී සිට ඇති අතර ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් ද සිටිති. පවුලේ ආර්ථික තත්ත්වය ගොඩනඟන්න අවශ්‍ය වූ නිසා අනියම් බිරිය රට රැකියාවක් සඳහා විදේශගත වී ඇත්තේ මේ අතරතුර ය.

අනියම් ප්‍රේමය ඉගිල යෑම හේතුවෙන් ඒ අඩුව පිරවීමට මේ පුද්ගලයා තවත් කාන්තාවක් තම ජීවිතයට ළංකර ගත්තේය. පසුව එම කාන්තාව සමඟ මරණකරු නීත්‍යනුකූලව විවාහ වීමට තීරණය කළේය. එහෙත් ඇය තම සැමියා අනියම් ඇසුරක සිටින බව නොදත්තාය. අවුරුදු 26ක් මරණකරු නීත්‍යනුකූල බිරිය සමඟ පවුල් ජීවිතය ගත කර ඇති අතර මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් තිදෙනකු සිටියි.

වසර කිහිපයකට පසු අනියම් බිරිය රටින් මෙරටට පැමිණ තම පැරණි පෙම සොයා ගොස් ඇත. එහිදී ඇය, තම ස්වාමියා නීත්‍යනුකූලව විවාහ වී ඇති බව දැනගෙන ඇත. පසුව අනියම් බිරිය නීත්‍යනුකූල බිරිය හා කුලල්කා නොගෙන දෙපසකට වී ජීවත්ව සිට ඇත. මරණකරු සමාදානයෙන් මේ පවුල් දෙකම රැක ඇති බව මරණ පරීක්ෂණ උසාවියේ දී හෙළි විය.

‘අනේ සර්…., අන්තිම වතාවට හරි මට එයා ඕනෑ“මරණකරුගේ අනියම් බිරිය හැඬීම නොනවත්වාම කීවාය.

‘අනේ සර් එහෙම කරන්න එපා… මටයි අයිතිය තියෙන්නේ. ඒ නිසා මට එයාව දෙන්න. “සිය අයිතිය ඉල්ලමින් නිත්‍යනුකූල බිරිය ද ඉදිරියට ආවාය. අවසානයේ මෙම තත්ත්වය සමථයට පත් කිරීමට හදිසි මරණ පරීක්ෂකවරයා වහාම කටයුතු කළේය. ඒ අනුව, මරණකරුගේ දේහය නීත්‍යනුකූල බිරියට භාර දීමටත් අනියම් බිරියගේ නි‍ෙවසේ මෙම දේහය තැන්පත් කිරීමටත් නියම කළේය.

දෙව්නි මහගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT