සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම අත්‍යවශ්‍යය. රජය මඟින් විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වැයකරන අතර විදේශීය ආයතන සහ දේශීය දානපතියන් විසින් ද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලට සැලකිය යුතු තරම් ප්‍රමාණයක් (05% පමණ) ලබාදෙයි. සියලු රෝහල්වලට මෙලෙස පරිත්‍යාග ලැබෙන අතර ඒ අතරින් ප්‍රධානතම රෝහල් වන්නේ අපේක්ෂා රෝහල සහ ළමා රෝහලයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග රෝහලේ ප්‍රධාන සැලැස්මට සහ ප්‍රමුඛතාවට අනුව ලබාගැනීම සේවාවට ද පරිත්‍යාගයට ද සාධාරණය ඉටුකිරීමකි.
අපේක්ෂා රෝහලට ළමා පිළිකා සඳහා ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයක් යනු හඳුනාගත් ප්‍රමුඛතාවකි. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පුහුණුව ලත් විශේෂඥ වෛද්‍යවරියක්ද අනුයුක්තකොට ඇති අතර පසුගිය වසර කිහිපය තුළ අලුත් ගොඩනැඟිලි සෑදීම නතරකර තිබූ නිසා ප්‍රමාද වූ මෙම ප්‍රමුඛ අවශ්‍යතාව ඉටුකිරීමට කතරගම දේවාලයේ බස්නායක නිලමේ සහ අනිකුත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වීම පැසසියයුතු කරුණකි. එම ඒකකය විවෘත කිරීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුනි දෙදෙනාම සහභාගී වන්නේ එම පරිත්‍යාගයට සහ පරිත්‍යාගශීලීන්හට කරන ගෞරවයක් වශයෙනි. එහි දී වෛද්‍ය නලින්ද සිය කතාවේ දී පරිත්‍යාගශීලීන් සියලු දෙනාහට ස්තුතිකරන අතර රජයේ අරමුදල් සහ අනිකුත් අරමුදල් රෝහල්වල අවශ්‍යතාවන්ගේ ප්‍රමුඛතාව අනුව වැයකිරීමේ වැදගත්කම පැහැදිලිකරන ලදී. නලින්දගේ කතාවට අත් දෙකම උස්සා එකඟවිය හැකිය.
විසිවසරකට ආසන්න මගේ වෛද්‍ය පරිපාලන ජීවිතයේ දී මා දුටු අවශ්‍යතාව හා ප්‍රමුඛතාව නොසලකා කරනලද වැයකිරීම් පිළිබඳ සියගණන් උදාහරණ දිය හැකිය.
වරක් එවකට සිටි ඇමැතිවරයා මා අමතා නුවරඑළිය රෝහලට MRI යන්ත්‍රයක් ලබාදෙන්නදැයි විමසූ විට නුවරඑළිය රෝහලේ ප්‍රමුඛතාව CT Scanner යන්ත්‍රයක් මිස අඩු අවශ්‍යතාවක් සහ අධික නඩත්තු පිරිවැයක් සහිත MRI යන්ත්‍රය නොවන බව දැනුම් දුන්නෙමි. MRI යන්ත්‍රයක් ලබාදෙන්නේනම් වඩා සුදුසු ස්ථාන වන්නේ බදුල්ල පළාත් මහ රෝහල හෝ පේරාදෙණිය හෝ මහනුවර රෝහල් බව ද දේශපාලන බලපෑම් මත හම්බන්තොට රෝහලට MRI යන්ත්‍රයක් ලබාදීමට තීරණය කිරීමද වැරදි ක්‍රියාවක් බවත් එය ලබා දීමට සුදුසු රෝහල මාතර මහරෝහල බවත් පැවසුවෙමි. කලකට පෙර විදේශීය ආයතනයක් මඟින් ඩෙංගි සහ ලෙප්ටොස්පයිරෝසිස් හඳුනාගැනීම සඳහා PCR යන්ත්‍ර දෙකක් යාපනය සහ නුවරඑළිය රෝහල්වලට ලබාදීමට ඉදිරිපත් වූ අතර එම පරිත්‍යාග වෙනත් කිසිම රෝහලකට කළ නොහැකි බවත් දැනුම්දෙන ලදි. ඒ කොරෝනා පැමිණීමට කලකට පෙර බැවින් PCR යන්ත්‍ර රෝහල්වල බහුල කාලයක් නොවිනි. යන්ත්‍රයට එක් වරකට අවශ්‍ය සාම්පල් ගණන මාස ගණනකටවත් එකතු නොවන නුවරඑළිය රෝහලේ අවශ්‍යතාවක් නොවුණු මේ යන්ත්‍රය ඉඩපහසුකම් නොමැති බැවින් තාවකාලික පදනමින් බව පවසා අවශ්‍යතාව පැවැති පේරාදෙණිය රෝහලේ ස්ථාපිත කර පරිත්‍යාග ආයතනයේ සිතද සතුටුකර රටේ අවශ්‍යතාවද ඉටුකර ගතිමි.
තැන තැන අපිළිවලට ගොඩනැඟිලි සාදා ඉතා සීමිත ඉඩකඩක් ඉතිරිව ඇති මාතර මහරෝහලට තනිතට්ටුවේ ගොඩනැඟිල්ලක් පරිත්‍යාග කිරීමට පැමිණි දේශීය ආයතනයකට පරිත්‍යාගය නොලැබුණත් මේ සුළු ඉඩකඩේ තවත් තනිමහල් ගොඩනැඟිල්ලක් සෑදීමට ඉඩදිය නොහැකි බව පවසා දීර්ඝ ලෙස සාකච්ඡා කර එම පරිත්‍යාගයෙන් බාහිර රෝගී අංශය, සායන සහ ඩිස්පැන්සරිය අලුත්වැඩියා කිරීමට එකඟකර ගතිමි.
ප්‍රමුඛතා හඳුනානොගත් පරිත්‍යාග පිළිබඳ උදාහරණ අපේක්ෂා රෝහලෙන්ම ලබාදිය හැකිය. පරිත්‍යාගශීලියාට අවශ්‍ය වූයේ PET Scanner යක් ලබාදෙන්නය. ඒ ඔහුගේ පෞද්ගලික මුදලින් නොව ජනතාවගෙන් මුදල් එකතු කිරීමෙනි. රෝහලේ ප්‍රමුඛතාව MRI යන්ත්‍රයකි. (ප්‍රධානම අවශ්‍යතාවක් වුවද තවමත් MRI නැත. රජයේ අරමුදල් මඟින් මේ වසරේ දී මිල දී ගැනීමට සැලසුම් කර තිබේ). විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලනයේ ඉල්ලීම නොසලකා දේශපාලන සම්බන්ධකම් හරහා පරිත්‍යාගශීලියා අඩු ප්‍රමුඛතාව පරිත්‍යාග කළේය. මිලියන සිය ගණනක යන්ත්‍රයක් මහරගමද, ජාතික රෝහලේද තිබේ. මිලියන ගණනක් වාර්ෂික නඩත්තුව සඳහා ද කාර්ය මණ්ඩලය සඳහා ද වැයකරන අතර මහරගම යන්ත්‍රය සතියට එක් දිනක්ද, ජාතික රෝහලේ යන්ත්‍රය සතියට එක් දිනක්ද ක්‍රියාත්මක කරයි. ජාතික රෝහලේ PET යන්ත්‍රය පමණක් තිබුණේ නම් සතියට දින දෙකක් වැඩකර මිලියන් සිය ගණනක් ඉතිරිකර පිළිකා රෝහලට අත්‍යවශ්‍ය MRI යන්ත්‍රයක්ද ලබාගත හැකිව තිබිණි. වසර කිහිපයකට පෙර රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතාව නොසලකා ළමා වාට්ටුවට යාබදව පරිත්‍යාගයකින් ඉදිකළ තට්ටු හතරක ගොඩනැඟිල්ලේ තට්ටු දෙකක්ම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයකය.
තවත් උදාහරණ බොහෝය. වෛද්‍ය පරිපාලකයින් බොහෝ දෙනෙකුට කියන්න මෙවැනි කතා ඇත. රජයේ අරමුදල් වුවද, ජනතාවගේ පරිත්‍යාග වුවද සියලු මුදල් වගකීමෙන් වියදම් කිරීම අත්‍යවශ්‍යය. නලින්ද කිව්වේ එයයි.