තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි එප්පාවල, ගැටදිවුල ගම්මානයේ ඉදිකොට ඇති පානීය ජල ව්‍යාපෘතිය ආශ්‍රිතව මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් එය මුළුමනින්ම බිඳවැටීමේ අවදානමට ලක්ව ඇති බව ගැමියෝ පවසති. ජල ව්‍යාපෘතිය සඳහා කලකට ඉහත දී සම්බන්ධ කොට ඇති පිරිපහදු යන්ත්‍රය අකර්මණ්‍ය වීම හේතුවෙන් එය දිරාපත් වෙමින් ඇති බව ඔවුහු පෙන්වාදෙති.
ජල ව්‍යාපෘතියේ ළිඳ, කුඹුරු යායට යාබද වන සේ ඉදිකිරීම මගින් එහි ජලය දූෂණය වී ඇති බවත්, එහි කොන්ක්‍රීට් නිර්මිත ද අබලන් වී ඇති බවත්, කුඹුරු යායට ඉසිනු ලබන කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ ජලය උල්පත් ඔස්සේ ළිඳ වෙත ගලා ඒම මගින් එහි ජලය කිසිඳු ප්‍රයෝජනයකට ගත නොහැකි අන්දමින් දූෂණය වී ඇති බවත් ගම්වාසීහු කියති. ජලය ප්‍රයෝජනයකට නොගත්ත ද මාසිකව ජල ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් දෛනිකව පානීය ජලය මිලදී ගැනීම සඳහා ද මුදල් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු කීහ. මෙම ජල ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් ලෙස ගම්මානයේ පවුල් 185කට අයත් පුද්ගලයන් 1,300දෙනකු පමණ නම් කර තිබූ බව ගැමියෝ පවසති. අලුත් පානීය ජල ළිඳක් සකස් කොට, පිරිපහදු යන්ත්‍රයක් සවිකර දෙන ලෙස තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ඉල්ලීමක් කළ ද, මෙතෙක් ඒ කෙරෙහි නිසි අවධානයක් යොමුවී නොමැති බව ගැමියෝ පෙන්වා දෙති. මෙම පානීය ජල ව්‍යාපෘතිය නැවත යථා තත්ත්වයට පත්කර දෙන ලෙස ගැටදිවුල ගැමියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලීමක් කරති. මේ පිළිබඳ ගම්වාසී නිහාල් රත්නතිලක මහතා මෙසේ කීවේය.
“මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට ම අපි නිලධාරීන්ට කිව්වා කුඹුරු යාය ළඟ ළිඳ කපන්න එපා කියලා. ඒත් ඒ අය ඇහුවේ නෑ. ඕන කෙනකුට තේරෙනවා කුඹුරුවලට ගහන වල්නාශක, කෘමිනාශක උල්පත්වලින් ළිඳේ වතුරට එකතු වෙනවා කියලා. අනිත් එක ළිඳේ රොන් මඩ වැඩියි. අවසානයේ වුණේ මේ රොන්මඩ පිරිච්ච වතුර පිරිපහදු කරන්න ගිහින් ෆිල්ටර් මැෂින් එක කැඩුණු එක. දැන් මේ ව්‍යාපෘතියේ වතුරවලින් කිසිම කෙනකුට ප්‍රයෝජනයක් නෑ.”
තඹුත්තේගම විශේෂ – ඩබ්. ප්‍රදීප්